පාට මාරු කරන ගස් එහෙම කරන්නේ ඇයි?

picture courtesy:http://all4desktop.com/data_images/original/4245359-autumn.jpg
වසන්තය ගිම්හානය පසුකර සරත් සමය, සීත ඍතුව එළැඹෙන බව අපට කියන්නේ කාලයත් සමඟ එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් සැරසෙන සොබාදහමයි. මේ අතුරෙන් ගිම්හානයේ ඇති හරිත වර්ණ තුරුවැල් සරත් සමයේදී රතු කහ පැහැයට හැරෙන අයුරු කැපී පෙනේ. ගහකොළ වලට මේ අපූරු පැහැයන් ලැබෙන්නේ කෙසේ ද? අවශ්‍ය විටෙක ඔවුන් එම පැහැයන් වෙනස් කරගන්නේ කොහොම ද? මේ සිදුවීම් සියල්ල පසුපස අප නොසිතූ අරුමයක් සැඟව ඇත්ද? 

පොලිතින් තහනම විද්‍යාත්මක ඇසින්..

පොලිතින් තහනම සහ ඒ ආශ්‍රිත නොයෙකුත් මතවාදයන් වර්තමාන සමාජ පසුබිමෙහි නොයෙකුත් ආකාරයෙන් කතාබහට ලක්වෙමින් පවතී. පාරිසරික වශයෙන් බැලූ කළ මෙවන් ප්‍රයත්නයන් අනර්ඝ නමුත් නුදුරු ඉතිහාසය දෙස බැලූ කළ පෙනී යන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙය අළුත් තත්වයක් නොවන බවයි. මීට පෙර අවස්ථා දෙකකදී රජය මෙම නීතිය රට තුල ස්ථාපනය කිරීමට උත්සහ කළද ඒවා ව්‍යර්ථ වී ගියේ ඇතැම් ජන කොටස් සතුව මේ සම්බන්ධව තිබූ දැනුම, උනන්දුව මඳකම සහ කාලයත් සමඟ රජය සතු වූ අනවධානයයි.

polythene-ban-sri-lanka
image source:
http://www.hindustantimes.com/world-news/sri-lanka-bans-plastic-after-garbage-crisis/story-PfM1zsZUDPcYdPmTlafHSM.html
කසල කලමනාකරණය පිලිබඳ දැවැන්ත ගැටළු මතුවීම සහ දිවයින පුරා ඩෙංගු වැනි රෝග පැතිරීමත් සමඟ පොලිතින් නිසා වන හානිය වැඩි වශයෙන්ම දැනෙන්නට වූ අතර මෙවැනි නීතියක අවශ්‍යතාවය නැවතත් මතුවන්නට විය. මේ අනුව සැප්තැම්බර් පළමු වනදා සිට මෙම නීතියට අදාල කරුණු බලපැවැත්වෙන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්පසු මෙම කාලය ජනවාරි පළමු වන දා තෙක් දීර්ඝ කර සහන කාලයක් ලබාදෙන ලදි. මේ වන විට බොහොමයක් ජනතාව සහ සුපිරි වෙලඳසැල් මීට අනුගත වෙමින් පවතින බවක් දක්නට ලැඛෙන නමුත් තවමත් ඇතැම් පිරිස් මේ සම්බන්ධ නිසි අවධානයක් යොමු නොකර ඇති සේයාවක් දක්නට ලැබේ.

සරලව ගත්කල පොලිඑතිලීන් (Polyethylene - PE) යනු බහුඅවයවීකරණය වූ කාබන් දාමයකි.

polythene-ban-sri-lanka
එතීන් ⟶ පොලිඑතිලීන් බවට පත්වීම (Ethene ⟶ Polyethylene) 

ඇතැම් අවස්ථාවල මෙයට H (හයිඩ්‍රජන්) පරමාණු වෙනුවට වෙනත් කාබන් දාම සමග බහුඅවයවීකරණය වීමෙන් ශාඛනය වූ දාම සහිත පොලිඑතිලීන් නිර්මාණය වේ. අඩු ඝනත්ව පොලිඑතිලීන් (Low Density Polyethylene -LDPE ) යනු මෙයයි.

polythene-ban-sri-lanka

ශාඛනය වූ එනම් අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නිර්මාණය වීමකට උදාහරණයක් ලෙස මෙම ප්‍රතික්‍රියාව හඳුනාගත හැකිය.
එසේම ශාඛනය නොවූ රේඛීය (Linear) කාබන් දාමයන් වැඩි ඝනත්ව පොලිඑතිලීන් (High Density Polyethylene- HDPE) ලෙස හදුන්වයි.

අප දන්නා පරිදී පොලිතීන් ජෛව හායනයට (Bio-degrade) ලක් නොවන අතර මෙය ලක්වන්නේ ප්‍රකාශ හායනයටයි (Photo-degrade). එනම් කාලයත් සමග මේවා විෂ සහිත අතිශය කුඩා අංශු බවට කැඩීයාම සිදුවේ (Petro -Chemicals). පස සහ ජලයත් සමඟ ඉන්පසු මෙම ඉතා කුඩා අංශු මුසුවන අතර පහසුවෙන් ජීවීදේහ වලට ඇතුළුවීම සිදුවේ. ජලජ පරිසර වලදී මෙය ඉතා සුලභ අතර ප්ලාස්ටික් ඇතුලු මෙවන් කාබනික අංශු ශරීරගත වීම කාබනික ද්‍රව්‍ය ජෛව සමුච්චනයට (Bio Accumulation) ලක්වීමට පවා බලපායි.

polythene-ban-sri-lanka
image source:
https://lankainformation.lk/news/business-news/item/confusion-reigns-over-new-polythene-ban
ශ්‍රී ලංකාවේ රජය මගින් භාවිත කලහැකි පොලිතින් වල අවම ඝනකම ලෙස 20μm ලෙස සීමා පනවා ඇත. ඝනකම ඉහල වීම මගින් නැවත නැවත අදාල පොලිතින් බෑගය භාවිතා කල හැකිවන අතරම ප්‍රකාශ හායනයට ලක්වීමට ඇති හැකියාවද යම්තාක් දුරකට පාලනය වේ. තමා භාවිතා කරන පොලිතින් වල ඝනකම 20μm ඉක්මවූ පමණින් එම පොලිතින් භාවිතය වැඩි වශයෙන් සිදුකිරීම හෝ එය පරිසර හිතකාමී යැයි සිතීම සාවද්‍ය වේ. ඝනකම වැඩි පොලිතින් පරිසරයට මුදාහැරීමෙන් පෙරටත් වඩා පොලිතින් පදාර්ථ ප්‍රමාණයක් පරිසරයට එකතු වන අතර මෙම පියවර පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගත් මූලික පියවරක් බව තේරුම් ගතයුතුය. මෙයින් පරිසරයට පොලිතින් මුදාහැරීමේ සහ පරිසරය දූෂණය වීමේ යම් අවම වීමක් රජය බලාපොරොත්තු වන අතර ඉන්දියාව වැනි රටවල මෙම අවම ඝනකම් සීමාවේ අගය 40μm - 50μm දක්වා වර්ධනය කර ඇත.

ඒ සමගම ශ්‍රී ලංකාවේ මෙම නීතියට අනුව විවෘත භූමි වල පොලිතින් ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් අන්තර්ගත ද්‍රව්‍ය දහනය කිරීම තහනම් වේ.

polythene-ban-sri-lanka
image source:
http://dailynews.lk/2017/07/17/local/122195/burning-polythene-plastics-open-places-be-banned

බොහොමයක් පොලිතීන් දහනය කිරීම පහසු කටයුත්තක් නොවන අතර දහනය කරන විට පොලිතින් ද්‍රව බවට පත්වී බොහෝ වේලාවක් පවතී. සම්පූරණයෙන්ම දහනය කිරීමට නම් වැඩි වේලාවක් තාපය සැපයිය යුතු වේ. බොහෝ අවස්ථා වලදී මෙම දහනයේදී කර්කෂ දුගන්ධයක් අත්විදිය හැකි අතර බොහෝසෙයින් විෂවන සංඝටකයන් මේ දුම තුල අන්තර්ගත වේ. ඒ සමග මීට හේතුවන මෙම ප්ලාස්ටික් අන්තර්ගතයන් ලෙස හයිඩ්‍රොකාබන, සයනයිඩ් සංඝටකයන් Polychlorinated biphenyls (PCBs), ක්ලොරිනීකෘත පොලිඑතිලීන් (Chlorinated Polyethylene), Chlorinated polyvinyl chloride (CPVC), Chlorosulfated polyethylene (CSPE), Polyvinyl Chloride (PVC) ආදිය හඳුනාගත හැක.

මෙම ප්ලාස්ටික් වර්ග දහනයෙන් ඩයොක්සීන් (Dioxin ) නිපදවෙන අතර වායුගෝලයට මුදාහැරේ. මෙය දරුණු පිලිකා කාරකයක් (Carcinogenic) වන අතර ඇමරිකාවේ ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතනය (National Institute of Standards and Technology) මගින් අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වන ආසනික් (As) වලට වඩා අර්ධ මිලියන ගුණයක පිලිකාකාරක හැකියාවක් මෙහි පවතින බව සනාථ කර තිබේ. මෙය ජීවීදේහ තුලට ඇතුළු වී මේදය තුල ද්‍රාවණය වී අතිශය ඉහල ස්ථායීතාවයක් සහිතව රඳා පවතින අතර මෙය ජෛව සමුච්චනයටද ලක්වේ.
polythene-ban-sri-lanka
image source: https://en.wikipedia.org/wiki/Carcinogen
ඒ සමගම පොලිස්ටයරීන් (Polystyrene) දහනය කිරීමෙන් තවත් විෂවායුවක් වන ස්ටයරීන් (Styrene) වායුව මුදාහැරෙන අතර මෙම වායුව මිනිස් සම හා පෙනහළු මගින් අවශෝෂණය කරගනී. මෙය මධ්‍යම ස්නායු පද්ධතියට දරුණු බලපෑම් එල්ල කරන අතර පෙනහළු ආබාධ, හිසරදය ඇතුළු සිරුර දුර්වල කිරීමට සමත් නොයෙකුත් විභවයන් මේ තුල අන්තර්ගත වේ.

පාලිත තත්වයන් යටතේ දහනය කිරීම මගින් විෂ ද්‍රව්‍ය වායුගෝලයට මුසුවීම යම්තාක් දුරකට අවම කරගත හැකි අතර විවෘත දහනය මගින් විශාල විෂ වායූන් ප්‍රමාණයක් වායුගෝලයත් සමග එකතු වේ. මේ නිසා දහනය සිදු කරන පුද්ගලයාත් ඇතුළුව ඒ අවට වෙසෙන සියල්ලන්ටම මෙම අවධානමට ලක් වීමට සිදුවේ. මේ නිසා සිදුකල හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ඉවත් කිරීමට අවශ්‍ය පොලිතීන් හා ප්ලාස්ටික් එකතුකර ඝන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයක් වෙත භාර දීමය.

polythene-ban-sri-lanka
image source: https://cornware.co.uk/recycling-2/
නිවෙස්‌ හෝ ආයතන තුළ වෙන් වෙන් කසල බදුන් තබා ගැනීමෙන් අපද්‍රව්‍ය වෙන් කිරීමේ කාර්ය පහසු කරගන්න පුළුවන්

ඒ සමගම උත්සව කටයුතු වලදීද පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය පැසසිය යුතු අතර විශාල වශයෙන් පොලිතීන් පරිසරයට මුදාහරින අවස්ථා ලෙස මෙම උත්සව අවස්ථා හදුනාගත හැකිය.

ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් මෙම පොලිතීන් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඇතැම් රටවල් එය සාර්ථක කර ගෙන ඇති නමුත් ඇතැම් රටවල එය අසාර්ථක වී ඇත. උදාහරණයක් ලෙස රුවන්ඩාව මෙම පොලිතීන් භාවිතය අවම කිරීම ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර බංග්ලාදේශය 2002 වසරේ පොලිතීන් තහනමක් ප්‍රකාශ කලද වර්තමානය වනවිට එය අභාවයට ගොස් තිබේ. මේ ආකාරයෙන් ඇතැම් රටවල් මෙම නීති ස්ථාපිත කිරීම සාර්ථක කරගන්නේද ඇතැම් රටවල් අසාර්ථක වන්නේද මේ කෙරෙහි ජනතාවගේ ක්‍රියාකලාපය අනුව බව ජනතාව වටහාගත යුතුය.

polythene-ban-sri-lanka
image source:
www.mynewsdesk.com/swedbrand/blog_posts/which-are-the-benefits-of-choosing-jute-bags-59291
සිලි මලු වෙනුවට බංගලාදේශයේ සුලබව ශාවිතා කෙරෙන හණ වලින් සෑදු මලු හෙවත් ගෝනි බෑග්


polythene-ban-sri-lanka
image source:
http://www.aliexpress.com/store/product/Magic-Kitchen-Creative-Bento-box-Korean-Style
හැමදාමත් ලන්ච් ෂීට් හාවිතා කරනවා වෙනුවට මෙවැන්නකට යොමු වන්න අපටත් පුළුවන්
ශ්‍රී ලංකාව වැනි රටක් තුල නම් ප්ලාස්ටික් මලූ හෝ වෙනත් ප්ලාස්ටික් භාවිතයන්ට විකල්ප විසදුම් නැතැයි රජයට දොස් පැවරීම අනුමත කල නොහැකි කරුණකි. ඇති කරගත යුත්තේ ආකල්පමය වෙනසක් වන අතරම බිය ඇතිකරගත යුත්තේ නීතිය කෙරෙහි නොව පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සහ අක්‍රමවත් කසල කලමනාකරණය හේතුවෙන් ඇතිවිය හැකි භයානක අතුරු ප්‍රතිඵලයන් කෙරෙහි බව ජනතාව තේරුම් ගත යුතුය.

ඉන්ද්‍රජිත් අත්තනායක,
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

අභ්‍යවකාශ ජනාවාසකරණය සහ මානව පැවැත්ම

මිහිතලය මත වෙසෙන සාර්ථකම ජීවීන් කොට්ඨාසය වන මානව සංහතියේ ආරම්භය මීට වසර මිලියන ගණනාවකට පෙර ප්‍රයිමේටාවන්ගේ පටන් සිදුවූ අතර එතැන් පටන් මේ දක්වා එනම් එහි දියුණුතම අවස්ථාව වන Homo sapiens sapiens දක්වා පරිණාමය වීම නොයෙකුත් වූ වාසිදායක සහ සුවිශේෂීකරණය වූ ලක්ෂණ හඳුන්වාදෙමින් සිදුවිය. මීට උදාහරණ කිහිපයක් ලෙස මොළයේ වර්ධනය සහ පුළුල් නළලක් ඇතිවීම, ප්‍රාථමික වක්‍ර 2ක් සහ ද්විතීක වක්‍ර 2ක් සහිතව කොඳුඇට පෙල සමගින් සෘජුකාය විලාසය ඇතිවීම, මහපට ඇඟිල්ලේ පිලිමල් ස්වභාවය හා මුහුණ පැතලි වීම ගත හැකිය. මෙම සුවිශේෂී වූ ලක්ෂණ වල හඳුන්වාදීම සහ ඒවායේ වර්ධනය මානව ජීවියාට මිහිතලය මත ජනිත වී ඇති අනෙකුත් ජීවීන් අභිබවා ජීවිත සටන ජයගනිමින් මිහිමත තම පැවැත්ම තහවුරු කරගැනීමට මනාම වූ පිටිවහලක් වන්නට ඇති බව ඉතා පැහැදිලිවම සිතිය හැකි කරුණකි.

space colonization
image source:http://www.bbc.co.uk/programmes/p0022nyy
ප්‍රථමාවධියේදී මානවයාගේ මූලික අවශ්‍යතාවයන් ආහාර ලබාගැනීම සහ ආරක්ෂාව පමණක් වුවත් කල්ගතවත්ම එය මීට අමතරව ඇඳුම් පැලඳුම් වාසස්ථාන අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු විශාල මූලික අවශ්‍යතාවයන් රැසක් බවට පත්විය. මෙහිදී මෙයට වැඩි වශයෙන්ම හේතුවූවා යැයි සැලකිය හැකි කරුණ වන්නේ මිනිසාට ඉගෙනගැනීමට ඇති සුවිශේෂී වූ හැකියාවයි. මිහිමත වෙසෙන බොහොමයක් ජීවීන්ට ඉගෙනගැනීමට හැකියාව තිබුනත් එය අත්දැකීම් වලට පමණක් සීමාවන අතර මිනිසා සුවිශේෂී වන්නේ ඔවුන්ට බුද්ධිමත්ව කරුණු විමසා බලමින් තාර්කිකව ඉගෙනුම ලැබීමට ඇති හැකියාවෙනි. මෙය අනෙක් ජීවීන්ට සාපේක්ෂව මානවයා ප්‍රමුඛ වීමට ලක් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකිල්ලට භාජනය කලහැකි අතර ගින්දර සොයාගැනීම, රෝදය සොයාගැනීම සහ ට්‍රාන්සිස්ටරය සොයාගැනීම වැනි සන්ධිස්ථානයන් තුලින් එය සාර්ථකව පසක් කර තිබේ. මේ අනුව බලන කළ මේ වනවිට මිනිසාට ජීවිත සටන සඳහා අනෙකුත් ජීවීන් සමඟ පවතින්නේ නිතරඟයක් බව පැහැදිලි වේ.

මෙලෙසින් කාලයත් සමග මිනිස් ගහණය වර්ධනය වූ අතර සංක්‍රමණ, ආක්‍රමණ ආදී ක්‍රම සහ භූ විද්‍යාත්මක හේතූන් පදනම් කර ගනිමින් පෘතුවිය පුරා මානව ගහණය වර්ධනය වීමට ලක්විය. වර්තමානය වනවිට මෙම මානව ගහණය බිලියන 7.5කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී පවතින අතර වර්ධන වේගය 1.1% පමණ අගයක් ගනී. මෙම සංඛ්‍යාත්මක අගය මිහිමත වෙසෙන අනෙකුත් ඇතැම් ජීවීන් සමඟ සසඳා බලන කළ කුඩා අගයක් වුවත්, සියලූම ජීවීන්ට අයිතිව පවතින භූමි ප්‍රමාණය සහ සීමිත සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගත් කල මෙම අගය සීමා ඉක්මවා යාමක් බව පැවසීම සාවධ්‍ය නොවේ.

මෙම සාර්ථක මානව පරිණාමයත් වර්ධනයත් සමඟ මිනිසා භාවිතා කරන තාක්ෂණයද ඊට සමගාමීව ඉතා ඉහළ වේගයක් සහිතව වර්ධනය වීමට ලක් වූ අතර මෙලෙසින් වර්ධනය වී වර්තමානය වන විට එය සාපේක්ෂව ඉතා ඉහළ ස්ථානයකට සපැමිණ තිබේ. තොරතුරු තාක්ෂණික, වෛද්‍ය හා ජෛව විද්‍යාත්මක, රසායනික විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක ක්ෂේත්‍ර මීට ඇතුළත් කළ හැකි වැදගත් ක්ෂේත්‍රයන් වේ.
මේ අතරින් අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන්ද ප්‍රධාන පෙලේ ස්ථානයක් හිමිකර ගන්නා අතර වර්තමාන තාක්ෂණික මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් බොහොමයක්ම පාහේ සපුරාලීමට මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන් භාරගෙන තිබීම නිරීක්ෂණය කලහැකි කරුණකි.

මෙහි සුවිශේෂ කෘත්‍යයක් ලෙස විශ්වය පිලිබඳ සිදු කෙරෙන අධ්‍යයනයන් සැලකිය හැකි වේ. ඉතිහාසයේ පටන් මේ දක්වා විශ්වය පිලිබඳ පැවති දුර්මතාන්ත දුරු කරමින් ආගමනයෙන් පසු වර්තමානය වන විට සාපේක්ෂව ප්‍රශස්ථ මට්ටමක අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර නාසා ආයතනය (NASA-The National Aeronautics and Space Administration) සමගින් හබ්ල් දුරේක්ෂය(Hubble Space Telescope)- සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයද (International Space Station) මෙහිලා ඉහළ දායකත්වයක් දක්වනු ලබයි. මේ සමඟ චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්ද පෘතුවිය එපිටින් පවතින තාරකා ග්‍රහලෝක මෙන්ම ජීවයන් පිලිබඳ ගවේෂණයන්හි නියැලෙමින් පවතී.

space colonization
image source:
https://www.space.com/20657-stephen-hawking-humanity-survival-space.html

මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවේ නවමු වූ මානයක් ලෙස අභ්‍යවකාශ ජනාවාසකරණ (Space Colonization) සංකල්පය හැඳින්විය හැකි වේ. සරලව ගත් කළ අභ්‍යවකාශ ජනාවාසකරණය යන්නෙහි මූලික සංකල්පය වන්නේ පෘතුවියෙන් බැහැරව, ස්ථීර සහ ස්වතන්ත්‍ර ලෙස වාසය කළ හැකි පරිදි වාසස්ථාන පිහිටුවා ගැනීමයි. ලොව සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකු සහ අජටාකාශ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙපන් හෝකින් මහතා (Theoretical Physicist and Cosmologist Professor Stephan Hawking) මත පලකරන්නේ මිනිසාට පෘතුවියෙන් එපිටට තම ජීවය ව්‍යාප්ත කළ නොහැකි නම් තවත් වසර දහසක් තුල පෘතුවිය මිනිසාට ජීවත්විය නොහැකි ස්ථානයක් බවට පත්වන අතර ඔහු පවසන්නේ තනි ග්‍රහලොවක ජීවය පැවතීම අවධානම් කටයුත්තක් බවයි. මෙම ප්‍රකාශනයට උදාහරණයක් ලෙස ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වීම ගත හැක. ඔහු පවසන්නේ පෘතුවිය භංගුර වස්තුවක් වන අතර ඇස්ටරොයිඩ හෝ එවැනි වෙනත් අභ්‍යවකාශ වස්තුවක ඝට්ටනයකින් පහසුවෙන්ම පෘතුවිය විනාශ වී යාහැකි බවයි.


මීට අමතරව මිනිස් ගහණය පාලනය කිරීමට නොහැකි තරමටම වර්ධනය වූ පසු අභ්‍යන්තර ගැටුම්, එනම් යුධ කටයුතු සහ හදිසි අනතුරු මගින් මිනිසුන් විනාශ වී යාහැකි බවත් මෙම ගැටලූ වලට හොදම විසඳුමක් ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ පෘතුවියට පමණක් සීමාවී ඇති ජීවය අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කලයුතු බවයි.

නාසා ආයතනයේ විද්වත් නිලධාරියෙකු ලෙස කටයුතු කරන මයිකල් ග්‍රිෆින් මහතා (NASA Administrator - Michael Griffin) පවසන්නේ වර්තමානයේ සිදුකරනු ලබන මෙම පර්යේෂණයනගේ සහ ව්‍යාපෘතීන්ගේ අග්‍ර අරමුණ අභ්‍යවකාශ ජනාවාසකරණය බවයි. යම් දිනෙක මිනිසුන් සඳ ඇතුලත්ව බ්‍රහස්පතී, අගහරු ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දක්වා ජීවය වර්ධනය කරනු ඇතැයි ඔහු මත පලකරයි. මෙය හුදු මනස්ගාතයක් නොවන බවත් වර්තමාන තාක්ෂණික දැනුම ඔස්සේ එවැනි ඉලක්කයන් කරා මිනිසාට ගමන් කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
නාසා ආයතනය ප්‍රමුඛ මෙම පර්යේෂණයන්හි නියැලෙන විද්වතුන් ඉදිරිපත් කරන මෙහි අරමුණු කිහිපයක් ලෙස,
1. ජීවය විශ්වය පුරා ව්‍යාප්ත කිරීම.
2. මානව ජීවී විශේෂයේ පැවැත්ම තහවුරු කිරීම.
3. සූර්ය බලශක්තිය සහිත චන්ද්‍රිකා ඇස්ටරොයිඩ වැනි ආකාශ වස්තූන්හි සිදුකරන කැණීම් අභ්‍යවකාශ වස්තූන්ගෙන් සිදුකරන නිෂ්පාදන ආදීන් වාණිජකරනයට ලක් කරමින් වාසි ලබාගැනීම.
4. මිනිසුන් සහ කර්මාන්තශාලා අභ්‍යවකාශයට ඇතුලත් කිරීම මගින් පෘතුවිය ආරක්ෂා කරගැනීම.
හඳුනාගත හැකි වේ.

ඒ සමඟම මෙහිදී පැන නැගිය හැකි ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ප්‍රශස්ථ මට්ටමකින් ලබා ගැනීම, බල ශක්තිය ලබා ගැනීම, ගුරුත්ව බල රහිත බැවින් ඊට විසඳුම් සෙවීම හා අභ්‍යවකාශයේ පවතින අධිකතර විකිරණශීලීතාවයෙන් ආරක්ෂා වීම ආදීන් ගත හැකිය.

ජීවීන්ට තම ජීවය පවත්වාගැනීමට අවශ්‍ය මූලද්‍රව්‍ය C, H, O, N, P, Mg, K, S වැනි අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සහ Cl, Fe, B, Mn, Zn, Cu, Mo, Ni ආදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස පවතින අතර මිහිතලය මතදී නම් ආහාරදාමයක මුලින්ම සිටින ශාක විසින් බොහෝවිට මෙම අවශ්‍යතාවය සපුරා දෙනු ලබයි. ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක C කාබන් තිර කරනු ලබන අතර බැක්ටීරියාවන්ගේ උපකාරයෙන් හෝ සංයෝගමය වශයෙන් පවතින හෝ එවැනි වෙනත් ආකාරයකින් හෝ අධි මාත්‍ර හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාක තුලට ඇතුළත් කර ගනී. ඉන්පසු සතුන් මගින් එය අධිග්‍රහනය කර ආහාරදාමයන් ඔස්සේ ගමන් කරනු ලබයි. එනම් මිනිසාද එම ජෛව පද්ධතියේ පුරුකක් බවට පත් වෙමින් තම අවශ්‍යතාවය සපුරාලනු ලබන අතර අභ්‍යවකාශය තුලදී ද මෙය යථාර්තයක් බවට පත් කිරීම මිනිසාගේ වෑයම බවට පත්වී තිබේ. මේ සඳහා ඇරිසෝනා ප්‍රාන්තයේ (Arizona) පිහිටි ඇරිසෝනා විශ්වවිද්‍යාලය (Arizona University) මගින් පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර මෙහි එක් ව්‍යාපෘතියක් ලෙස ‘Biosphere 2’ ව්‍යාපෘතිය හැඳින්විය හැක. මේ වන විට වසර 2ක් සඳහා මිනිසුන් 8 දෙනෙකුට ප්‍රමාණවත් වන තරම් කෘත්‍රිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.

මෙහිදී විශාල සතුන් ආදිය මෙයට ඇතුලත් කරන්නේ නම් මේ සියල්ලටම අවශ්‍ය තරම් වාතාශ්‍රය නිපදවීම තවමත් ගැටලුවක්ව පවතින අතර ඒ සඳහා ද පර්යේෂණ බොහොමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. අභ්‍යවකාශය තුල පෘතුවියේ මෙන් වායුගෝලයක් නොමැති වීම ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය පවත්වාගැනීමට නොහැකි වීමටද හේතු වේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ පාරිසරික උෂ්ණත්වය ඉතා දැඩි විචලනයන්ට ලක් වන අතර මෙය ජීවීන්ගේ පැවත්මට සුදුසු නොවේ. මෙයද මිනිසාට මෙම අභ්‍යවකාශ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට බාධාවක්ව තිබේ.

එමෙන්ම අභ්‍යවකාශය යනු විකිරණ බහුල කලාපයකි. කොස්මික් කිරණ සහ සූර්යයාගෙන් පැමිණෙන බොහෝ කිරණ ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කළහැකි ඒවා වේ. මීට විසදුමක් ලෙස විද්‍යාඥයන් විසින් විකිරණාවශෝෂක මතුපිටක් සහිත ආවරණ නිර්මාණය කෙරෙහි තම පර්යේෂණ මානයන් යොමුකරමින් පවතී.

මීට පෙර මෙම අභ්‍යවකාශ වටපිටාව තුල භාවිතා කරන ශක්ති ප්‍රභවය කුමක්ද යන්න නොයෙකුත් මතවාද පැවතුනත් සූර්යශක්තිය සහ තවත් ආකාශ වස්තූන් භාවිතාකර ශක්තිය නිපදවිය හැකි නොයෙකුත් ක්‍රමවේදයන් මේ වන විට සොයාගනිමින් පවතී. විද්වතුන්ගේ තොරතුරු අනුව ඔවුන් පවසන්නේ පෘතුවියේ මෙන් ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි සම්පත් ප්‍රමාණයක් අභ්‍යවකාශය තුල ගැබ්වී පවතින බවයි.

ඒ සමඟ වසර 71ක පමණ කෙටි ආයු අපේක්ෂාවක් සහිත මිනිසාට පවතින තවත් ගැටලූවක් නම් මෙම ග්‍රහලෝක අතර සිදුකරන ගමනාගමන ක්‍රියාවලියයි. මේ සදහා ආලෝකයේ වේගය හෝ එය අභිබවා යාහැකි යානා (Space Ships – FTL: Faster than Light Engines) නිර්මාණය කළ යුතුව තිබේ. මේ ආශ්‍රිත පර්යේෂණ කටයුතුද ක්‍රියාත්මක තත්වයේ පවතින අතර තවමත් ඒවා මූලික අවධි පසුකරමින් සිටී.

space colonization
image source:https://en.wikipedia.org/wiki/Space_colonization
මෙවැනි භෞතික ගැටලූ වලට මිනිසා විසඳුම් සෙවූවද උසස් හා අතිශය සංකීර්ණ මනසකින් හෙබි මිනිසාට ඇතිවිය හැකි මානසික ගැටලු වලට විසඳුම් තවමත් සොයාගෙන නොමැත. මෙවන් ඒකාකාරී සහ පීඩාකාරී බවකින් යුත් පරිසරයක් තුල මානව ජීවියාට සාර්ථක විය හැකිවේද යන්න තවමත් ගැටලුකාරී තත්වයක් මතු කරමින් තිබේ.

මෙකී ගැටලුන් ඇතුලත්ව තවත් දහසකුත් එකක් ගැටලු තවමත් මිනිසා ඉදිරියේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පවතින නමුදු මිනිසා විසින් මෙම සියලූම ගැටලු වලට පිලිතුරු සපයමින් මෙම සන්ධිස්ථානය කරා ගමන් කරන බව විද්වතුන්ගේ ප්‍රබල මතය වේ. මීට හොඳම උදාහරණයක් ලෙස ලෝ ප්‍රකට විද්‍යාඥ ආතර් සී ක්ලාක්(Arthur C. Clarke) මහතා හදුනාගත හැකි අතර මෙම අධ්‍යයනයන් සඳහා ආලෝකයක් වූ මෑත කාලීන සොයාගැනීම ලෙස මිනිස් වාසයට සුදුසුයැයි සැක පලකෙරෙන ආලෝක වර්ෂ 39ක් එපිටින් පිහිටි TRAPPIST-1 සෞරග්‍රහ මණ්ඩලය හැදින්විය හැකි වේ.

ඒ අනුව මෙලෙසින් වසර මිලියන ගණනක් පෙරුම් පුරමින් සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මිහිමත ජනිත වූ මෙම මිනිස් ජීවී විශේෂය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණ කොටගත් මෙම දැවැන්ත පර්යේෂණයන් හා ව්‍යාපෘතීන්ගේ සාර්ථක අවසානය, නව මානව ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

ඉන්ද්‍රජිත් අත්තනායක.
විද්‍යා පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. 

(ප්‍රධාන වශයෙන් Stephan Hawking මහතාගේ අදහස් ඇසුරු කරගෙන සැකසූ ලිපියකි)

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

අද වන විට ලොව පුරා විවිධ සමාගම් නානාප්‍රකාර රසායනික ක්‍රම භාවිතා කර පානීය ජලය නිෂ්පාදනය කරයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ ක්‍රම වලදී ජලයට හිමි සමහර අද්විතීය ගුණ අභාවයට ලක්වෙන එකයි. ඒ නිසාම අපි හැමදාම බොන සාමාන්‍ය ජලය, අයනීකරණ ක්‍රියාවලියකට ලක් කරලා සාදන “Alkaline Water” වඩාත් සෞඛ්‍යාරක්ෂිත ජල මාදිලියක් විදිහට දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

මොනවද ඇත්තටම මේ Alkaline Water කියන්නේ?

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය


සරලවම කිව්වොත් Alkaline water කියන්නේ ක්ෂාරීය ජලය. සාමාන්‍ය ජලය නම් උදාසීනයි. ඒ කියන්නේ pH අගය 7ක් වගේ. නමුත් උල්පත් වලින් පැන නගින ජලය නම් බොහෝ වෙලාවට ස්වභාවිකවම ක්ෂාරීයයි. ක්ෂාරීය ජලයේ pH අගය 9ක් පමණ වේ. තවද කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් හා සෝඩියම් වැනි ක්ෂාරීය අයන වලින් ප‍ොහොසත්. එ්ත් මෙම උල්පත් ජලය ගංගා දිගේ පහළට ගලාගෙන යනකොට ක්ෂාරීය ගුණ නෂ්ට වෙලා ආම්ලිකතාව වැඩි ‍වෙනවා.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය
ඒ නිසා ස්වභාවික ක්ෂාරීය ජලය සොයාගන්න එක නම් ගොඩාක් අමාරු ද‍ෙයක්. එහෙනම් අපි කොහොමද කෘත්‍රිමව ක්ෂාරීය ජලය නිපදවා ගන්නේ? ඒකට භාවිතා කරන්නේ අයනීකාරක යන්ත්‍රයක්. සාමාන්‍ය ජලය මෙම යන්ත්‍රයට ඇතුළු කරලා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. මෙහිදී ආම්ලික හා ක්ෂාරීය ලෙසට ජලය ප්‍රවාහ දෙකකට වෙන්වනවා.

මෙම ක්‍රියාවලියේදී සිදු‍ව‍ෙන තවත් අපූරු සිදුවීමක් තමයි micro-clustering හෙවත් ක්ෂුද්‍ර ජල පොකුරු සෑදීම. ජලය කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ H2O. ඔව් ජලයේ රසායනික සූත්‍රය H2O. ඒ වුණත් ලුණු ස්ඵටික ආකාරයටත්, දියමන්ති දැලිස් ආකාරයටත් පවතිනවා වගේ ජලයත් පවතින විශේෂ ආකාරයක් තිබෙනවා. එනම් පොකුරු ලෙස. සාමාන්‍යයෙන් ජලය පවතින්නේ අණු 13-16ක් අතර ප්‍රමාණයකින් වටවී පවතින විශාල ජල පොකුරු විදිහට. micro-clustering වලදී සිදුවන්නේ මේ විශාල ජල පොකුරු, අණු 6කින් පමණ යුත් ක්ෂුද්‍ර ජල පොකුරු බවට පත්වීම. මේ ක්ෂුද්‍ර ජල පොකුරු සෛල හා පටක මගින් අවශෝෂණය කරගැනීමේ හැකියාව සාමාන්‍ය ජලයට වඩා වැඩියි.

Alkaline water අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි නේද? පිරිසිදු කළ ක්ෂාරීය ජලය පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට අවැසි වාසි රැසක් ගෙන ද‍ෙනවා. මේවාට තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ, වියපත්වීම ප්‍රමාද කරයි. සම රැලි වැටීම, හිස කෙස් පැසීම වාගේ අපි කවුරුත් පතන්නේ නැති වියපත්වීමේ ලක්ෂණ පහළ වන්නේ කාබනික අම්ල හා සක්‍රිය ඔක්සිජන් ඇතුළු මුක්ත ඛණ්ඩක මගින් ශරීරයේ පටක වලට හානි කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාබනික අම්ල උදාසීන කිරීමටත්, හානිකර මුක්ත ඛණ්ඩක ඉවත් කිරීමටත් ක්ෂාරීය ජලය සමත්.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

වර්තමානයේ අප හුරුවී සිටින මස්, මාළු, පැණි බීම ආදියෙන් පොහොසත් නවීන ආහාර සංස්කෘතිය නිසාම සිරුරට ඇතුළු වන අම්ල ප්‍රමාණය අධිකයි. මෙම අධික ආම්ලිකතාව හමුවේ නිරෝගී පටක විනාශ වී යාමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාවෙන්ම එය මැඩපවත්වන්නට ඝන මේද තට්ටුවක් තැන්පත් කර ගන්නට අපේ සිරුර පෙළඹ‍ෙනවා. මෙහි අත්‍යන්ත ඵලය වන්නේ ශරීරයේ මේද සංචිතය උග්‍ර වෙලා තරබාරු වෙන එක! ක්ෂාරීය ජලය, අතිරික්ත අම්ල උදාසීන කරලා සංචිත වෙලා තිබෙන වැඩිපුර මේදය මුදා හරිමින් ඉහත තත්ව වලින් අපව ආරක්ෂා කරනවා.

එමෙන්ම ඔස්ටියෝපොරෝසිස්, පර්වදාහය හා දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු වීමේ අවදානමත් අවම කරයි. රුධිර පීඩනය යාමනයට හා විෂ හරණයටද ඉවහල් වේ.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

මුළුතැන්ගෙයි කටයුතු වලට ද ක්ෂාරීය ජලය ඉස්තරම්. පිසීමට පැය බාගයකට පමණ කලින් මස්, මාළු හා එළවලු ක්ෂාරීය ජලයේ ගිල්වා තැබීම ඒවායේ ඇති අප්‍රසන්න දුර්ගන්ධයන් දුරුකරලා නියම රසය ඉස්මතු කරවනවා. තවද එළවලු හා පලතුරුවල ස්වභාවික දිදුලන කොළ පැහැයත් රැකදේ. කොටින්ම කිව්වොත් ක්ෂාරීය ජලය ආහාර වල රස ගුණ හා පෙනුම ද ආරක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරයි.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

කෙසේ වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැති බව ඔබ අසා ඇති. එපරිදිම ක්ෂාරීය ජලය ද ප්‍රමාණය ඉක්මවා පානය කිරීම ශරීරයේ pH අගය ඕනෑවට වඩා ඉහළ නංවා පරිවෘත්තීය ක්‍රියා සඳහා අහිතකර තත්ව ඇති කරන්න පුළුවන්. ඒ නිසා පුරුද්දක් ලෙස Alkaline Water පානය කරනවා නම් නිරතුරුවම දේහ pH අගය ගැන සැලකිලිමත්වීම නුවණට හුරුය.

සචිනි හෙට්ටිආරච්චි,
කනිෂ්ඨ පර්යේෂණ සහකාර,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.
Benefits of Alkaline Water by Dr Peter. L. Kopko, D.C., and other contributors ඇසුරින් සැකසූ ලිපියකි.
විශේෂ ස්තූතිය - ආචාර්ය මෙතිකා විතානගේ.

ලොව ප්‍ර‍ථම ක්වොන්ටම් චන්ද්‍ර‍ිකාවේ වගතුග

  
ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග


අද වනවිට තාක්ෂණයෙන් ඉතා දියුණු තත්වයක ඇති අප ලෝකය තුළ
, විවිධාකාරයේ තොරතුරු සන්නිවේදන ක්‍රම භාවිතා කරනවා. අතීතයේදී මිනිසුන් භාවිතා කළේ, තැපෑල, ටෙලිග්‍රෑම් වැනි ක්‍රම වුවත්, අදවනවිට රැහැන් රහිතදත්ත සම්ප්‍රේෂණ ක්‍රම තමයි මුල්තැන ගෙන තිබෙන්නේ. එහෙත්, එදත් අදත් මිනිසා  මෙහිදී මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වූයේ, දත්ත වල සුරක්ෂිතභාවය පිලිබඳ ගැටළු ඇතිවීමයි. විශේෂයෙන්, රැහැන් රහිත සුලභ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන විද්‍යුත් චුම්බක තරංගඔස්සේ සිදු කරන තොරතුරු හුවමාරුවේදී ද වෙනත් පිටස්තර පාර්ශවයකට මොනයම් හෝ ක්‍රමයකින්, ඒ දත්ත වලට ප්‍රවේශ වීමේ ඉඩකඩක් තිබෙනවා (Hack කිරීම් වැනි ක්‍රම මඟින්). මෙවැනි තත්ත්වයන්, ලොව බලවත් රටවල් වල සිදුකරන ආරක්ෂක, රාජ්‍ය තාන්ත්‍රික හා විද්‍යාත්මක කටයුතු වලදී විශාල අවදානමක් ඇති කරන බව නොරහසක්. මෙයට පිළියමක්, එනම් Hack Proof දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් නිපදවීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයන් පර්යේෂණ වල නිරත වුණා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස, “ක්වොන්ටම් ටෙලි ප්‍රවාහනය යන සංකල්පය ඔස්සේ ඔවුන්ගේ පර්යේෂණ දිවුණු අතර, මෙම තාක්ෂණය රැගත් චන්ද්‍රිකාවක් නිපදවීමේ තරඟයක් ලොව බලවත් රටවල් අතර ඇතිවුණා. ඇමරිකාව, රුසියාව වැනි අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් පරදවමින්, පසුගිය දිනෙක චීනය ජය ලැබුවා.. අද අප ඔබට පවසන්නට යන්නේ, මෙම මෙහෙයුම සහ තාක්ෂණයේ පසුබිම පිලිබඳ තොරතුරු බිඳක්.

   නූතන ලෝ‍කයේ දැවැන්තයා වීමට යන ගමනේ තවත් එක් යෝධ පියවරක් තබමින් චීනය ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාවපසුගිය අගෝස්තු 16 දින සාර්ථකව ගුවන්ගත කළා. වයඹදිග චීනයේ ගෝබි කාන්තාරයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී මෙම 600kg කට ආසන්න බරකින් යුත් මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණු අතර, මෙය නම් කර ඇත්තේ “Micius” ලෙසයි. මෙලෙස එම නම යොදාගෙන තිබෙන්නේ.


 “විශ්වීය ආදරය(Universal Love)” පිලිබඳ වූ දර්ශනය ලොවට හෙළිකළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු වූ Micius සිහිපත් වීම උදෙසායි,


මෙම ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව, විද්‍යාඥ Pan Jianwei සහ අභ්‍යවකාශ ඉංජිනේරු Wang Jiangu දෙපළ අත්වැල් බැඳ ගත්තේ මීට වසර 8 කට පෙරයි. මෙම චන්ද්‍රිකාව මුලින් හැඳින්වූයේ QUESS (Quantum Experiments at Space Scale) අතර , පසුව QSS ලෙසද හඳුන්වා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ Pan පවසන පරිදි, ඔවුන්ට මේ සඳහා සුදුසු නමක් තැබීම ද කලක් තිස්සේ මොළයට වද දුන් කාරණාවක්.
ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

  බොහෝ මාධ්‍ය විසින් මෙය “Hack Proof” හෙවත් පරිගණක හකර්වරුන්ට ලඟා වීමට නොහැකි දත්ත හුවමාරු තාක්ෂණයක් ලෙස අරුත් ගැන්වුවද, කිසිවක්ම Hack Proof නොවන තත්ත්වයක් තුළ මේ තාක්ෂනය කෙරේ වන නිවැරදිම විග්‍රහය වන්නේ, “ළඟා වීමට අපහසු” දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් යන්න වන බවයි Fortune සඟරාවේ සඳහන් වෙන්නේ. චීන ක්වොන්ටම් චන්ද්‍රිකාව විසින් සිය දෙවසරක මෙහෙයුම් කාලය තුළදී මෙම “ආරක්‍ෂිත දත්ත සන්නිවේදන ක්‍රමය වර්ධනය කෙරෙනු ඇත්තේ, ආලෝකයට වඩා වැඩි වේගයකින් හා වඩා සුරක්ෂිත වූ පණිවිඩ හුවමාරුවක් ලොව පුරා ඇති කරනු පිණිස බව ෂින්-හුවා පුවත් සේවය සඳහන් කොට තිබෙනවා.


  ක්වොන්ටම් කේත ක්‍රමය සම්බන්ධ පළමු පරීක්ෂණය මෙය නොවුණත්, එය අභ්‍යවකාශ මට්ටමට ගෙන ආ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය, යුරෝපය හා චීනය දැනටමත් භූමි මට්ටමේ සිදු කරන ප්‍රකාශ තන්තු (Fiber Optics) ජාලයන්හි මේ ක්වොන්ටම් කේත ක්‍රමය භාවිතා කරන බවයි සඳහන් වෙන්නේ. 


  චීනය මේ QUESS ව්‍යාපෘතියට නායකත්වය දුන්නද, ඔස්ට්‍රියාව ද ඔවුන් හා එක්ව ක්‍රියා කරනවා. මේ තාක්ෂනය පිළිබඳ පළමුවෙන්ම අදහස් පළ කළ විද්‍යාඥයා වන Anton Zeilinger 2001 දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) ඉදිරිපත් කළ අදහස ඉවත දමා ඇති අතර, අද සිය ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වූ චීන විද්‍යා ඇකඩමියේ (Chinese Academy of Sciences) විද්‍යාඥ Pan Jianwei විසින් මෙහයවන එම ව්‍යාපෘතියේ සේවය කිරීමට සිදුවී තිබෙනවා. චීනය මූල්‍යමය අතින් ශක්තිමත් වීම සහ චීන අග්‍රාමාත්‍යවරයා විසින් අභ්‍යවකාශ වැඩසටහන් දිරිමත් කිරීම නිසා, මේ ආශ්‍රිතව පර්යේෂණ සිදු කරන ඇමරිකාව, ජපානය සහ යුරෝපය අභිබවා යාමට චීනයට හැකි වුණා. ඒ අතරතුර ම, එක්සත් රාජධානියේ Strathclyde සරසවිය, සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් ද කුඩා චන්ද්‍රිකාවක් ආශ්‍රිත ක්වොන්ටම් තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පවත්වනවා.

  කෙසේවුවත්, මෙහි භාවිතා වන තාක්ෂණය (ක්වොන්ටම් ටෙලිප්‍රවාහනය) ඉතාමත් ගැඹුරු විෂය පථයක් ඔස්සේ දිවෙන්නක්. “රූපවාහිනී යන්ත්‍රය සොයා ගැනීමට කලින්, තැනකින් තවත් තැනකට රූප යවන එක සැලකුවේ විස්මිත (මැජික්) දෙයක් විදිහට. ක්වොන්ටම් ටෙලිප්‍රවාහනයත් මැජික් එකක්. එත්, එයත් අනාගතයේදී රූපවාහිනිය මෙන් සරල හා සුලභ දෙයක් වේවි”. විද්‍යාඥ Wang පවසන්නේ එහෙමයි.

ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

  මේ තාක්ෂණයේ පදනම වන්නේ, අංශූන් 2 (හෝ වැඩි ගණනක්) “ක්වොන්ටම් පටලැවීමක්” (Quantum entanglement) ලෙස ඒ සියල්ලම එකම අධිස්ථාපන (superposition) අවස්ථාවකට ගැනීම මඟින් ඒ ඒ අංශු සියල්ලේම භෞතික ලක්ෂණ එකිනෙක සහසම්බන්ධිත තත්ත්වයකට ගැනීමයි.

   මෙලෙස එකිනෙක “පටලවා” ඇති අංශු 2 කින් ඔබ එක් අංශුවක් අනෙකෙන් ඈතට ගෙන ගියා යැයි සිතන්න.(මෙහිදී ගෙන යන දුර අදාළ නොවේ). ක්වොන්ටම් භෞතිකයට අනුව කෙතරම් ඈතකට ගෙන ගියත්, ඒ අංශූන් දෙක තවදුරටත් ඒ “පටලැවිල්ලේ”ම යි. ඒ කියන්නේ, මෙවිට ඔබ එක් අංශුවකට කරන යම් වෙනසක් අනෙක් අංශුවට ද (කෙතරම් දුරක තැබුවත්) එලෙසම බලපානවා. අයින්ස්ටයින් ගේ කීමට අනුව මෙය “Spooky action at a distance” නොඑසේ නම් “දුරක සිට හොල්මන් කිරීමක්” වගෙයි. මේ චන්ද්‍රිකාව තුළ විශේෂිතව සැකසූ ස්ඵටිකයක් හරහා විදින ලේසර් කදම්භයක් හරහා “පටලවුණු” ෆෝටෝන යුගල නිපදවන යන්ත්‍රයක් තිබෙන අතර, මේ සෑම පටලවුණු යුගල අංශුවක් ම, කි.මී. 1200 ක් පමණ දුරින් ඈතින් ඇති පෘථිවියේ මධ්‍යස්ථාන වෙත එල්ල කෙරෙනවා

ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

ඉන්පසු, මධ්‍යස්ථාන වල සිටින පර්යේෂකයන් හට, ඔවුන්ට ලැබුණු අංශු පද්ධතියට ප්‍රවේශ වීමෙන්, මේ එක් එක් ෆොටෝනයකට කෙරෙනු ලබන ඕනෑම මිනුමක්, එසැණින්ම එහි එම ෆොටෝනයේ විරුද්ධ අංශුව ලැබුණු අනෙක් මධ්‍යස්ථානයේ ඇති එම අංශුව කෙරෙන දිස් වීමට සැලැස්විය හැකියි.

   කෙසේවෙතත්, මෙම තාක්ෂණය හරහා අපගේ සාමාන්‍ය පණිවිඩ ඍජුවම හුවමාරු කිරීමට හැකියාවක් නැහැ. මෙයින් කළ හැක්කේ පරමාණු අංශූන්හි විවිධ අවස්ථා පිළිබඳ මූලික තොරතුරු, විශාල දුරවල් ආවරණය වන පරිදි හුවමාරු කරගැනීම පමණක් වුවත්, මේ හරහා ශක්තිමත් කේත පද්ධතියක් (encryption tool) සකසාගත හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. එහෙත්, ක්වොන්ටම් විද්‍යාව භාවිතයෙන් ගොඩනගනු ලබන කෙතයන්ට,”ස්වයං විනාශකාරීගුණයක් ලබා දියහැකි අතර, යම් හෙයකින් මෙම දත්ත හුවමාරුවේ දී තෙවන පාර්ශවයක් මැදිහත් වුවහොත් එම කේතයන් තමන් විසින්ම විනාශ වනවා. “මෙය සබන් පෙණ බුබුළක් මත ලියූ පණිවිඩයක් වගේ, ඔබ එය අල්ලන්න. එය පුපුරා යාවි.” Wall Street ජර්නලයට අදහස් දක්වා ඇති තාක්ෂණයේ ප්‍රවීණයෙක් පවසා ඇත්තේ එලෙසයි.

 කෙසේවුවත්, ක්වොන්ටම් සන්නිවේදනය තවමත් පවතින්නේ ළදරු අවදියේ. ඒ වගේම, මේ පිළිබඳ කරන පර්යේෂණ වලටත්, ඉහළ ප්‍රාග්ධනයක් වැය වෙනවා. ඇමරිකාව ට පවා මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට මඟ ඇහිරී ඇත්තේ ඒ නිසා. චීනය, ඒ ඉහළ ප්‍රාග්ධනය වැය කරමින් සිදුකරන මේ පර්යේෂණ හේතුවෙන්, අනාගතයේ ලෝකයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මහා පෙරළියක් ඇති වනු නිසැකය.

විදුසර 2016/09/21 දින (29 කාණ්ඩයේ 47 වන) කලාපයේ සහ //www.therussophile.org රුසියානු පුවත් සේවයේ ලිපි ඇසුරෙන්//. {අන්තර්ජාලයෙන්}

සංජු දර්ශන

මීළග මහා පරිමාණ තෙල් ඉහිරුමට අපි සූදානම් ද?

cleaning_oil_spills

2010 වසරේ මෙක්සිකානු බොක්කේ ඇති ඛනිජ තෙල් නිස්සාරක ළිඳ පිපිරීම නිසා සිදුවූ තෙල් ඉහිරුමෙන් සාගර ජීවීන්ට දැඩි අහිතකර බලපෑම් ඇතිවිය. විශාල ජෛව ප්‍ර‍ජාවක් අපට අහිමි වුණු අතර දිවි රැකගත් ජීවීන් ද විවිධ විකෘතිවලට බදුන් විය. තෙල් ඉහිරුම පිරිසිදු කිරීමට යොදාගන්නා ලද රසායනික ද්‍රව්‍ය මගින් සාගර ජීවීන්ට තවත් සෞඛ්‍ය ගැටලු මතුවී තිබේ. එබැවින් මෙවැනි අවාසනාවන්ත තෙල් ඉහිරුම් කාර්යක්ෂමව පිරිසිදු කිරීමේ ක්‍ර‍ම පරිසර හිතකාමී ක්‍රම සෙවීමට විද්‍යාඥයන් නැඹුරු විය. ඔවුන්ගේ සාර්ථක නිපැයුම් කිහිපයක් පහත පරිදිය.

1.තෙල් රඳන දැල

මෙම මල නොකන වානේ දැල මතට තෙල් මිශ්‍රිත ජලය දැමූ විට ජලය කාන්දු වී ඉවත් වුව ද තෙල් දැල මත රැඳේ. මෙම නිර්මාණයට අදහස ලබාගෙන ඇත්තේ නෙළුම් කොලයේ ජල විකර්ෂක බවෙනි. නෙළුම් කොලයේ ක්ෂුද්‍ර ගැටිති නිසා එය මතට වැටෙන ජල බිඳු විකර්ෂණය වී පත්‍රය මතින් රෝල් වී යයි. නමුත් විද්‍යාඥයින්ට අවශ්‍ය ජල විකර්ෂක සැකැස්මක් නොවේ. ජල ආකර්ෂක හා තෙල් විකර්ෂක සැකැස්මකි. එබැවින් නෙළුම් කොලය ජලය විකර්ෂණය කිරීමට හේතුව වෙනස් කිරීමෙන් ඔවුන්ගේ අභිප්‍රාය ඉටුකරගෙන තිබේ. විද්‍යාඥයින් ගැටිති අතර පරතරය, ගැටිතිවල ප්‍රමාණය වෙනස් කිරීම හා තෙල් විකර්ෂක ද්‍රව්‍ය යොදා දැල නවීකරණය කර තිබේ.මහා පරිමාණයෙන් මෙම දැල් සාදා දැවැන්ත තෙල් ඉහිරුම්වල දී පරිසරය බේරා ගැනීමට යෙදීම පර්යේෂකයන්ගේ අදහසයි. මෙම දැලෙහි වර්ග අඩියක් සෑදීමට ඩොලරයකටත් වඩා අඩු පිරිවැයක් වැයවන බව නිර්ණය කර තිබේ. එනිසා වැඩි වියදමක් නැතිව සාගර පිරිසිදු කිරීමට තෙල් රඳන දැල් උදවු වේ.

cleaning_oil_spills
දැල මත තෙල් රැඳී ඇති අතර ජලය පෙරී ඇත

2.මිල්ක්වීඩ් ශාකයෙන් විසඳුමක්

මිල්ක්වීඩ් වල් පැළෑටියේ බීජ කොපුව ස්වභාවිකවම ජලය විකර්ෂණය කරන අතර අධික ලෙස තෙල් උරාගැනීමට ද සමත්ය.එබැවින් මෙම ශාක කොටස යොදා තෙල් පිරිපහදුවට “මිල්ක් වීඩ් කට්ටල” සාදා තිබේ.මෙම කට්ටල දැනටමත් කැනඩාවේ කුඩා තෙල් ඉහිරුම් පිරිසිදු කිරීමට යොදාගැනේ.
 

cleaning_oil_spills
විද්‍යාඥයෙක් මිල්ක් වීඩ් කට්ටලයක් අතැතිව
                                            
3. යකඩ නැනෝ අංශු යොදා තෙල් වෙන්කිරීම

ජල විකර්ෂක ගුණ සහිත යකඩ නැනෝ අංශු තෙල් ඉහිරුමට යොදනු ලැබේ.එවිට තෙල් සමඟ පමණක් යකඩ නැනෝ අංශු මිශ්‍ර වේ.ප්‍රබල චුම්බක යොදා ජලයෙන් තෙල් (යකඩ නැනෝ අංශු මිශ්‍රිිත තෙල්) ඉවත් කරගනු ලැබේ. වෙන්කර ගන්නා ලද තෙල් නැවත භාවිතයට ගැනීම සඳහා යකඩ නැනෝ අංශුවල චුම්බක ගුණ උපකාරයෙන් තෙල්වලින් එම අංශු ඉවත් කරනු ලැබේ. මෙලෙස උකහා ගත් තෙල්, තවදුරටත් පිරිපහදු කර නැවත භාවිතයට ගත හැකි වීම නිසා තෙල් පිරිසිදු කිරීමට යන වියදම ද පියවා ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.            

cleaning_oil_spills
චුම්බකවලට යකඩ නැනෝ අංශු මිශ්‍රිත තෙල් ආකර්ෂණය වීම

4.බෝරෝන් මුසු කළ කාබන් ස්පොන්ජය

මෙය බෝරෝන් සහිත කාබන් නැනෝබටවලින් සමන්විත ජල විකර්ෂක හා තෙල් ආකර්ෂක ගුණ ඇති ස්පොන්ජයකි. ස්පොන්ජය, තම ස්කන්ධය මෙන් 100 ක ස්කන්ධයක් සහිත තෙල් ප්‍රමාණයක් අවශෝෂණයට සමත් වී තිබේ. අවශෝෂණය වූ තෙල් ඉවත් කර නැවත ස්පොන්ජය භාවිතයට ගත හැකිවේ.ඉවත් කළ තෙල් පිරිසිදු කර භාවිතයට ගැනීමට ද හැකිවේ.

                                             cleaning_oil_spills                                              
5.ජලයෙන් තෙල් පෙරීමට ගුරුත්වයේ උපකාරය

මෙම සියුම් පෙරහන් තාක්ෂණයේදී තෙල් විකර්ෂක නැනෝ අංශු යොදා ඇති බැවින් පෙරහනට තෙල් උරානොගැනේ.තෙල් පෙරහන මත එක්රැස්වේ. පෙරහනේ අඩංගු බහුඅවයවකය ජලය සමඟ හයිඩ්‍රජන් බන්ධන සෑදීම නිසා පෙරහන ජල ආකර්ෂක වේ.උරාගන්නා ලද ජලය ගුරුත්වය යටතේ පහලින් ඉවත් වේ.

                                                  
cleaning_oil_spills
තෙල් පෙරහන මත රැඳී ඇති අතර ජලය පෙරී බඳුනේ පතුලට ගොස් ඇත

 6.ක්ෂුද්‍ර සබ්මැරීන හමුදාව

මෙම කුඩා තාක්ෂණික මෙවලම්වලට ජලය හරහා යන අතරතුර තෙල් අවශෝෂණය කළ හැකිවේ.තම කාර්යය නිම කළ පසු සබ්මැරීන එක් කරන ස්ථානයට චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් යොමු කළ හැකිවේ.
මෙම ක්ෂුද්‍ර සබ්මැරීන සෑදීමට පාදක වී ඇත්තේ මිනිස් රුධිර සංසරණ පද්ධතිය හරහා ගොස් ඖෂධ ලබාදෙන ක්ෂුද්‍රනාල එන්ජින් වේ. සබ්මැරීනවල චලනය සිදුවන්නේ එහි අඩංගු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයෙන් මුක්ත වන ඔක්සිජන් වායුව මගින් තල්ලුවක් ඇති කිරීම නිසායි.සබ්මැරීන අධි ජල විකර්ෂක හා තෙල් ආකර්ෂක ද්‍රව්‍යයකින් ආවරණය කර ඇති නිසා මග දෙපස තෙල් අංශු උරාගනිමින් ගමනේ යයි.
මෙම සබ්මැරීන මයික්‍රොමීටර් 8 ක් පමණ දිගැතිය.එනම් මිනිස් කෙස් ගසකින් 1/10 තරමේ ඝනකමකින් යුක්ත උපකරණයකි. එබැවින් දැවැන්ත තෙල් ඉහිරුමක් පිරිසිදු කිරීමට අධික සබ්මැරින ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති.නමුත් මෙම ක්‍රමයේ ඇති පරිසර හිතකාමී බව නිසා එවන් කාර්යයක් කිරීම වැදගත් වනු ඇත.

7.ස්වයංක්‍රීය රුවල් බෝට්ටු

මෙහි භාවිිත රැසකි.තෙල් ඉහිරුම් පිරිසිදු කිරීම පමණක් නොව ජලය විකිරණ සඳහා පරීක්ෂා කිරීම මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයෙන් ඉවත් කිරීම ද සිදුකළ හැකිවේ.මිනිසාට ළඟා වීමට අවධානම් ප්‍රදේශවලට ගොස් පිරිසිදු කිරීමේ කටයුතු කිරීමට මෙයට හැකියාව තිබේ.දැනට මෙම යාත්‍රා පාලනය කිරීම වෙරළේ සිට සිදුකළ යුතු වුවත් නව මාදිලිවලට ඊටත් වඩා ස්වාධීන බවක් ලබා දීමට හැකිවනු ඇති.

cleaning_oil_spills

8.එරොජෙල් ස්පොන්ජය

මිහිපිට ඇති සුපිරිම ස්පොන්ජය මෙයයි.මෙය සාමාන්‍යයෙන් 95-99.5 පමණ කුහරමය වීම නිසා ඉතා විශාල අවශෝෂක හැකියාවක් තිබේ.තෙල්වලින් වැසුණු සතුන් පිරිසිදු කිරීමට, වෙරළ වෙත තෙල් ළගාවීම වැළකීමට මෙම ස්පොන්ජ යෙදිය හැකිය.
 
cleaning_oil_spills
මෙය ඝනත්වයෙන් ඉතා අඩු නිසා මලක් මත වුවද රැඳවිය හැක

තෙල් ඉහිරුමකට සාර්ථකව මුහුණ දීමට මෙවැනි ක්‍රමවලින් හැකියාව ලැබේවායි පතමු.නමුත් අශ්වයා පිටවූ පසු ඉස්තාලය වැසීමට වඩා අවශ්‍ය වන්නේ තෙල් ඉහිරුම් සිදුනොවන ලෙසට ආරක්ෂක විධිවිධාන සැකසීමයි.කෙසේ වෙතත් නූතන ලෝකයට ඛනිජ තෙල් නැතිවම බැරි නිසා මෙවන් විපත්ති සිදුවීමේ හැකියාව ද වැඩිය. එබැවින් පෙර සූදානම් කටයුතු දිගටම කිරීම ඇගට ගුණය.


විනුරි ආටිගල
අන්තර්ජාලය ඇසුරින් සකසන ලදි

පෙරලිකාර ජාන තාක්ෂණයේ නවතම සොයාගැනීම, “ඩිසයිනර් දරුවන්”!

designer_babies

සියලු ජීවීන්ගේ රූපීය, ව්‍යුහීය හා ක්‍රියාකාරිත්වීය ලක්ෂණ තීරණය කෙරෙනුයේ ජාන මගිනි. මේ ජාන පිහිටන්නේ කොහේ ද? අපගේ සෑම සෛලයකම ඇති DNA අණුවල ජාන පිහිටයි.DNA හි විවිධ කොටස් විවිධ ජාන ලෙස ක්‍රියාකරයි.ජාන ඉංජිනේරු තාක්ෂණය යනු සරලව පැවසුවහොත්,යම් ජීවියෙකුගේ DNA කොටස් ඉවත් කිරීම හෝ ආගන්තුක DNA කොටස්වලින් පවතින DNA කොටස් ප්‍ර‍තිස්ථාපනය හෝ පවතින DNA වලට වෙනසක් නොකර ආගන්තුක DNA කොටස් බද්ධ කිරීම මගින් ජීවියෙකුගේ ජාන සංයුතිය වෙනස් කිරීමයි.
                                                                                              

මිනිස් ඇස නොගැටුණු මරියානා අගාධ ජීවීන්ගේ වතගොත


mariana_trench
                         

ලෝකයේ ගැඹුරුම ස්ථානය පැසිෆික් සයුරේ ඇති මරියානා අගාධය බව ඔබ ආසා ඇති.එය කෙතරම් ගැඹුරු ද යත් එයට හිමාල කඳුවැටිය ඇතුල් කළ ද මුහුදු මට්ටමින් සැතපුමක් පහළින් හිමාල කඳු මුදුන පිහිටයි. එහි  ජලය ඇති කරන අධික පීඩනය, හිරු එළිය නොමැතිකම හා අධික සීතල යන ජීවයට නුසුදුසු පාරිසරික තත්ව ඇති නිසා ආන්තික පරිසරවල දිවිගෙවීමට අනුවර්තන ඇති බැක්ටීරියා හැර වෙනත් ජීවීන් කිසිවෙක් නොමැති ලොවක් බව සමහර විද්‍යාඥයන්ගේ ද අදහස  විය.නමුත් මෙම හිරු නුදුටු ලොවෙහි අභියෝගවලට අභියෝග කරමින් විවිධ අපූර්ව අනුවර්තන සහිත ජීවීන් වෙසේ.මරියානා අගාධයට මෑත දී සිදුකරන ලද ගවේෂණ චාරිකාවල දී කැමරා කාචයන්ට හසුවී තිබුණේ පෙර නොදුටු විරූ සත්වයන්ය.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?


ඔබත් කදුවැටි තරණයට කැමති කෙනෙක් ද?එසේනම් ඔබගේ ශරීර සෞඛ්‍ය පිණිස මෙය කියවීම යෝග්‍ය වේ.
කදුවල දී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවේ.එකක් වන්නේ අධික සුළග නිසා විජලනයට ලක්වීමයි.මෙය වලකා ගැනීමට නිතර ජලය පානය කිරීම සුදුසු වේ.

ඉතා උස් ප්‍රදේශවලදී  ස්වසන අපහසුතා ඇතිවිය හැකිවීම තවත් ගැටලුවකි .මෙයට ප්‍රධාන හේතුව වන්නේ උස්බිම්වලදී අවට වායු පීඩනය අඩුවීමයි.එවිට අපට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම නිසා එලෙස ස්වසන අපහසුතා ඇතිවේ.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?



මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2458 (අඩි 8000) පමණ උසකට හෝ ඊට වැඩි උසකට ඉක්මණින් ගිය විටදීය.ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද මීටර් 2524 වන බැවින් මුදුනට ආසන්න වන විට ප්‍රවේශම් විය යුතුය.ලංකාවේ අනෙක් කදු ඉහත මට්ටමට වඩා පහතින් තිබුණ ද ඒවා නැගීම ද ප්‍රවේශමෙන් සිදුකිරීම ඇගට ගුණවේ.


කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
දිය හොල්මන

මෙය සිදුවීමට හේතුව පැහැදිළි කරගැනීමට ඔක්සිජන් ශරීරගත වීම සිදුවන ප්‍රතික්‍රියාව සලකා බලමු.

                                  Hb (aq) + 4O 2 (g) ⇋ Hb(O 2 )4 (aq)

              හිමොග්ලොබින් (aq) +  4 ඔක්සිජන් අණු (g) ⇋ ඔක්සිහිමොග්ලොබින් (aq)

ඉහත ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියාවකි.එනම් ප්‍රතික්‍රියකවලින් ප්‍රතිඵල සෑදෙන වේගයට සමාන වේගයකින් ප්‍රතිඵලවලින් ප්‍රතික්‍රියක සෑදේ.මෙම ප්‍රතික්‍රියා ලෙ චැටලියර් මූලධර්මය පිළිපදියි.
ලේ චැටලියර් මූලධර්මය යනු සමතුලිත පද්ධතියක උෂ්ණත්වය නියත තාක් ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතයට දරන අනුපාතය නියතබවයි.

ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය  ÷  ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතය  =  නියතයකි

මෙම පද්ධතිවලට බාහිර බලපෑමක් ඇති වූ විට පද්ධතිය එම බලපෑම අවම කරගෙන නැවත සමතුලිතතාවයට පත්වේ.
උදා- කුඹුරුවල දී යොදාගන්නා  දිය හොල්මන නම් උපකරණය.මෙහි ඇලවී ඇති බටයට ජලය මගින් බලපෑම් වූ විට(ජලය වැඩි වූ විට) බටය කැරකී එම ජලය ඉවත් කර නැවත මුල් පිහිටුමට පැමිණේ.

             
ඔක්සිජන් හිමොග්ලොබින් හා බැදෙන සමතුලිතතාව සදහා සමතුලිතතාව සලකා බලමු.      

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
      

 මෙහිදී O2 හිමොග්ලොබින් හා බැදී  ඔක්සිහිමොග්ලොබින්  සාදන වේගයට සමානව ඔක්සිහිමොග්ලොබින් බිද වැටී O2 හා හිමොග්ලොබින් සදයි.එබැවින් ඉහත අනුපාතය නියතව පවති.

උස් බිම්වල වායු පීඩනය අඩුය.එවිට පද්ධතියේ O2 වායුවේ පීඩනය අඩුවේ.එනම් ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය අඩු වේ.ඉහත ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය  ÷  ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතය යන අනුපාතය වෙනස්වේ (වැඩි වේ).




කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
නමුත් සමතුලිත පද්ධතියක් සදහා යම් උෂ්ණත්වයක දී එම අනුපාතය නියතයක් නිසා පද්ධතිය නැවත එම අනුපාතය ලබෙන අයුරට සැකසේ.එය සිදුවන අයුරු පහත පරිදිය.
O2 වායුවේ පීඩනය අඩු නිසා මෙවිට O2 හිමොග්ලොබින් හා බැදෙන වේගය අඩුවේ (ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවේ).නමුත් ඔක්සිහිමොග්ලොබින් බිදවැටී O2 හා හිමොග්ලොබින් සෑදීම ජයටම සිදුවේ.එවිට O2 වායුවේ පීඩනය නැවත වැඩිවී අනුපාතය හරි අගය දක්වා අඩුවේ.




කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?



එහෙත් පටක කරා O2 පරිවහනය කරන ඔක්සිහිමොග්ලොබින් අඩු වීම නිසා ශරීරයට ඔක්සිජන් හිගයක් දැනේ.
 වහාම ක්‍රියාත්මක වන පරිදි ශරීරය මගින් ඔක්සිජන් සැපයුම යථා තත්වයට පත්කිරීමට වේගයෙන් හුස්ම ගැනීම උත්තේජනය කෙරෙයි.එහෙත් බොහෝවිට එයින් ඉල්ලුමට සරිලන සැපයුම ලබාගත නොහැකි වන නිසා ක්ලාන්තය,හිසේ රුදා,අධික තෙහෙට්ටුව ආදි අපහසුතා ඇතිවේ.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?

නමුත් ඔබ උස්බිමක වෙසෙන පුද්ගලයෙකු නම් ඔබ උත්පත්තියෙන්ම මෙම තත්වයන්ට අනුවර්තනය වූ වාසනාවන්තයෙකු විය හැකිය. කිම ද යත් උස්බිම්වල ස්ථිර පදිංචි කරුවන් පරම්පරා ගණනාවක් තිස්සේ එහි දිවිගෙවීම නිසා ඔවුන් අතර තිබූ ප්‍රයෝජනවත් ජානවලට ප්‍රමුඛතාව ලැබී ඇති බැවිනි.ටිබෙට් ජාතිකයන් ,ඇන්දීස් කදුවල වෙසෙන්නන්,ඉතියෝපියානුවන් ආදි කොට්ඨාසයන්ට ඇති අපූරු අනුවර්තන නිසා උස්බිම්වල ඇති පාරිසරික අභියෝග ඔවුන්ට කෙස් ගහක් තරම්වත් බලපෑම් නොකරයි.

සමහරුන්ට ඇති එක් අනුවර්තනයක් වන්නේ වැඩි හිමොග්ලොබින් සාන්ද්‍රණයක් තිබීමයි.එවිට හිමොග්ලොබින් O2 වායුව සමග වැඩියෙන් බැදී වැඩියෙන් ඔක්සිහිමොග්ලොබින් සදයි.එවිට පටකවලට වැඩියෙන් ඔක්සිජන් ලැබේ. සමහරුන්ට වැඩි ධාරිතාවක් සහිත පෙනහලු පිහිටයි(එයට වගකියන ජාන ඇති නිසා).සමහරුන්ගේ ස්වසන වේගය වැඩිවීම ද වාසි සහගත තත්වයකි.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
හිමාල වැසියෙක්

මෙවන් සුපිරි හැකියාවන් ඔබට පිහිටා නැත්නම් අවදානම මගහරවා ගැනීමට, සෙමින් කදු තරණය කර ශරීරයට වෙනස හුරුවීමට කාලය ලබාදෙන්න. මද උස්බිම්වල දිනක් පමණ ගතකර සිරුරට හුරුවක් ලබාදෙන්න.උස්බිම්වලදී ව්‍යායාම ආදි ඇග වෙහෙසන වැඩ මගහැරීම ද අවශ්‍ය වේ.වෛද්‍ය උපදෙස් මත බෙහෙත් භාවිතා කිරීමද සිදුකළ හැකිය.

සමහර මලල ක්‍රීඩකයන් තම දක්ෂතා වැඩිකර ගැනීමට උස්බිම්වලට පැමිණෙන බව ඔබ දන්නවා ද?උස්බිම්වල දී මුහුණ පාන ඔක්සිජන් හිගයට පිළියම ලෙස සිරුරේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිවේ. නැවත පහත් බිමකට ගියවිට දින කීපයක් යන තුරු එම හිමොග්ලොබින් සාන්ද්‍රණය පවති.ඔවුන්ගේ අරමුණ වන්නේ තම රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිකර ගැනීම මගින් ධාවනයේ දී හොද ඔක්සිජන් සැපයුමක් ලබා ගැනීමයි.

අවසන් වශයෙන් කිව යුත්තේ, ඔබ කදු තරණයට යන්නේ නම් සූදානම් ශරීරයෙන් යන්නට කියායි.ඔබට සුබ ගමන්!

(අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි)
විනුරි ආටිගල
කණිෂ්ඨ පර්යේෂණ සහකාර,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.



බලශක්ති අර්බුදයට විසදුම අතේ දුරින්!

/2016/02/powershortagesolarpowersatellite.html

අද මුළුමනින්ම පාහේ ඛනිජ තෙල්වලින් දුවන අපේ ලෝකය ඛනිජ තෙල් ඉවර වූ දිනක නැවත ගල් යුගයට/ගොවි යුගයට පත් වනු ඇත් ද? තත්වය එතරම්ම බරපතල නොවනු ඇති. එහෙත් අපට අහිමි වන බොහෝ දෑ සිහිවන විට පියවි සිහිය නැති වන බවක් හැගේ.

මෙවන් අභාග්‍යයක් ඉදිරි පරපුරටවත් සිදුවීම වැළකීමට වර්තමාන විද්‍යාඥයෝ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත ඇහැගහගෙන සිටිති.සූර්යාලෝකය,සුළං බලය හා මුහුදු රළ තරංගවල බලය ආදිය එලෙස අවධානය යොමු වූ තැන් කිහිපයකි.මෙම ප්‍රභවවල ගැටලුවක් වන්නේ දවස පුරා එක ලෙස ශක්තිය සැපයීම සිදුනොවීමයි.
එයට විසදුම ලෙස, අභ්‍යවකාශයට ගොස් පැය 24 පුරා හිතේ හැටියට සූර්ය ශක්තිය ලබාගත හැකි බව විද්වතුන්ට පහළ වූ රටක් වටින අදහසකි. නමුත් එම අදහස අධෛර්යමත් කරන ප්‍රබල බාධාව වූයේ අභ්‍යවකාශයේ දී නිපදවන විදුලියහි ගැබ් වී ඇති ශක්තිය පොළවට සාර්ථකව සම්ප්‍රේෂණය කරන්නේ කෙසේ ද යන්නයි. (අභ්‍යවකාශයේ සිට පොළවට ඉතා දුර නිසා වයර් ඇදීම ප්‍රායෝගික නොවේ නේද?)

ජපන්නු හපන්නු යන කියමන නැවතත් සනාථ කරමින් ජපන් විද්‍යාඥයන් විසින් පසුගියදා සාර්ථකව අභ්‍යවකාශයේ සිට පොළව වෙත ශක්තිය සම්ප්‍රේෂණය කර එය භාවිතයෙන් විදුලිය නිපදවා ඇත.වයර් භාවිතා නොකර සිදුකරන ලද මෙම ශක්ති සම්ප්‍රේෂණය මගින් ශක්ති සම්ප්‍රේෂණය නව මාවතකට යොමු කර ඇත.අභ්‍යවකාශයේ දී ම සූර්යාලෝකය භාවිතා කර විද්‍යුතය නිපදවා එම ශක්තිය පොළවට සම්ප්‍රේෂණය කිරී‍මේ නැවුම් අදහස ඉදිරියට ගෙන යාමට මෙම අත්හදාබැලීම මහගු පිටුවහලක් වී ඇත.
 
කාර්යක්ෂමව දුරස්ථ ප්‍රදේශ 2 ක් අතර ශක්තිය සම්ප්‍රේෂණය සදහා ක්ෂුද්‍ර තරංග(micro waves) හෝ ලේසර් භාවිතා කළ හැකි වන අතර මොවුන් භාවිතා කර ඇත්තේ ක්ෂුද්‍ර තරංග වේ.ලේසර්වලට කෙටි තරංග ආයාම ඇති නිසා කුඩා උපාංග යොදාගෙන නිකුත් කිරීම(ප්‍රදානය) හා ලබාගැනීම( ප්‍රතිදානය) කළ හැකිය.කෙටි තරංග ආයාම තිබීමේ අවාසිය වන්නේ වායුගෝලයේ දී විවිධ බාධකවලට හසුවීමයි.ඒවා වලාකුළුවල ජල බිදු හමුවේ විසිරී යාම(ප්‍රකිරණය) හා ඒවාට අවශෝෂණය සිදුවේ.නමුත් ක්ෂුද්‍ර තරංගවලට  ඊට සාපේක්ෂව දිගු තරංග ආයාම ඇති බැවින් ඒවා එම බාධකවලට හසුනොවේ. එමෙන්ම එහි ශක්ති පරිවර්තන කාර්යක්ෂමතාව ද ඉහළය. එවිට අභ්‍යවකාශයේ දී සූර්ය ශක්තිය මගින් ක්ෂුද්‍ර තරංග නිපදවීම හා පොළවේ දී ක්ෂුද්‍ර තරංගවල ශක්තිය යොදා විදුලිය නිපදවීම යන පරිවර්තන කාර්යක්ෂමව කළ හැකිය.

ජපන් ජාතිකයන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අයුරු විමසමු.ඉතා විශාල කණ්ණාඩි 2ක් හා සූර්ය කෝෂ සහිත චන්ද්‍රිකා අභ්‍යකාශගත කර කණ්ණාඩි 2 මගින් සූර්යාලෝකය සූර්ය කෝෂ වෙත දිශානත කෙරේ. සූර්ය කෝෂ මගින් තමා වෙත ලැබෙන ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනු ලැබේ. ඉන්පසු පොළවට සම්ප්‍රේෂණය සදහා විද්‍යුත් ශක්තියෙන් ක්ෂුද්‍ර තරංග නිපදවනු ලැබේ.චන්ද්‍රිකාවේ ඇන්ටනා මගින් ක්ෂුද්‍ර තරංග පෘථිවියේ  ඍජුකාරක ඇන්ටෙනා වෙත ඉලක්ක කර එවනු ලැබේ. ඍජුකාරක ඇන්ටෙනා මගින් නැවත ක්ෂුද්‍ර තරංග විද්‍යුතය බවට පරිවර්තනය කෙරේ.
 
/2016/02/powershortagesolarpowersatellite.html

සමහරවිට ඔබට ක්ෂුද්‍ර තරංග පෘථිවියට ඉලක්ක කිරීම ජීවීන්ගේ සෞඛ්‍යයට අහිතකර වන්නක් යැයි සිතෙන්නට පුළුවනි.සූක්ෂම තරංග උදුන(microwave)ක් තුළ ජීවත්වීමට සිදුවේ යැයි ද සිතෙන්නට ඉඩ ඇත.නමුත් මෙහි තීව්‍රතාවය චොකලට් දිය කිරීමටවත් ප්‍රමාණවත් නොවේ.කෙසේ වෙතත් පොළවේ ඇන්ටනා පිහිටි පෙදෙසට ඇතුල් වන්නන්හට ආරක්ෂක ආවරණ පැළදීම නියමිත කෙරේ.

දැනට කළ අත්හදාබැලිමේ දී JAXA ආයතනය 55 m දුරකට කිලෝවොට් 1.8 ක ශක්තියක් සම්ප්‍රේෂණය කර ඇත. 36,000 km ඉහළ අහසේ පිහිටි භූස්ථාවර කක්ෂයේ සිට පොළවට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම ඔවුන්ගේ අවසාන අරමුණයි.

එවිට සූර්යාලෝකය පැය 24 පුරාම ලබාගත හැකිවීම නිසා ස්වභාවික සම්පත් සීමිත වීමෙන් ඇතිවන බලශක්ති අර්බුදයට සාර්ථක විසදුමක් ලැබේ.මෙම නව බලශක්ති ප්‍රභවය  පරිසර හිතකාමි හා පුනර්ජනනීය වීම නිසා අපගේ පාරිසරික ගැටලු ද මගහරවා ගත හැකිවේ.භූස්ථාවර කක්ෂයේ කක්ෂගත කළ සූර්ය කෝෂ රැගත් චන්ද්‍රිකාවලින් සපිරි අනාගතයක දී අපට පෘථිවියත් නිරෝගිව තබාගනිමින් අපරිමිත ශක්ති ප්‍රමාණයක් ලබාගත හැකිවේවි!
/2016/02/powershortagesolarpowersatellite.html


අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි
සැකසුම - විනුරි ආටිගල