රනිල බෝග වල අස්වැන්න වැඩිකරන ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ජෛව පොහොර

No comments







ලෝකයේ හෙක්ටයාරයකට වැඩිම කෘෂි රසායනික යොදන රට වන ශ්‍රී ලංකාව ලොව 8 වැනි හෙක්ටයාරයකට වැඩිම රසායනික පොහොර යොදන රටයි. මෙසේ ඉවක් බවක් නොමැතිව කෘෂි රසායනික සහ පොහොර යෙදීම නිසා ශ්‍රී ලංකාවේ ශාක, සත්ව සහ මිනිස් ප්‍රජාව මුහුනදෙන ගැටලු ඔබට අලුතින් විස්තර කිරීමට උවමනා නැත. කෘෂීකාර්මික වකුගඩු රෝගය, පස නිසරු වීම, ශාක ජෛව විවිධත්වය විනාශ වීම සහ පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම ඉන් ප්‍රධානය. එමනිසා වර්තමාන කෘෂී පර්යේෂණ අංශයේ ප්‍රධාන අවධානයක් යොමුවූ මාතෘකාවක් බවට පරිසරයට සහ මිනිසුන්ට හිතකාමී ජෛව පොහොර වර්ග නිපදවීම පත්වී ඇත. මෙවන් යුගයක රනිල භෝග වල අස්වැනන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කලහැකි “රනිලසාර” ( Rhizobium Inoculant)  නම් පරිසර හිතකාමී ජෛව පොහොර වර්ගයක් සාර්ථකව අත්හදා බැලීමට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම ලොව ප්‍රථම වරට සමත්වී සිටී. 

රයිසෝබියා යනු රනිල කුලයේ ශාක වල මූල ගැටිති සාදන පාංශු ක්ෂද්‍රජීවි කාණ්ඩයකි. මෙම රයිසෝබියා විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් රනිල ශාක වලට තිරකර දේ. සොයා, මුං, කවුපි, රට කජු සහ පරිප්පු වානිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාකය. තවද උදුපියලිය,නිල් රටකොඩු වැනි ශාක පශු සම්පත් කර්මාන්තයේ බහුලව ශාක ආහාර ගෙස භාවිතා කරන රනිල කුලයේ ශාක විශේෂය. මෙවැනි වාණිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාක වලට කාර්යක්ෂම රයිසෝබියා ආක්‍රාමණය නැතහොත් රනිලසාර නිපදවුවහොත් රනිල ශාක වලට වායු ගෝලයේ ඇති නයිට්‍රජන් මගින් ශාක වල නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාගතහැකි වන  නිසා රනිල භෝග වලට කෘතිම නයිට්‍රජන් පොහොර යෙදීම අඩුකරගත හැකිවේ. මෙම අභියෝගය බාරගත් මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම, ආරම්භයේදී පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ එම පරීක්ෂණ සිදුකර පසුව එම පර්යේෂණ ව්‍යාපෘතිය වඩා පහසුකම් සපිරි ජාතික මූලික අධ්‍යයන ආයතනයට වර්ශ 2011 දී රැගෙන එනලදි.

වර්තමානයේදී මෙම ව්‍යාපෘතිය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහයෝගී සහ උපදේශන අංශය යටතේ ක්‍රියාත්මක වන අතර වාණිජමය වටිනාකමක් සහිත විවිධ රනිල කුලයේ භෝග සහ තණකොල වර්ග සදහා නිර්මාණය කරනලද රයිසෝබියා ආක්‍රාමණය නැතහොත් රනිලසාර විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය සහිතව කේෂත්‍ර පර්යේෂණ වලට ලක්කර ඇත.

සෝයා වගාව සදහා නිර්මාණය කරනලද රනිලසාර මෙම පර්යේෂණ වල ඉතා සාර්ථක ජෛව පොහොරකි. මෙම රනිලසාර මාස 6 ක කාලයක් කේෂත්‍ර පරීක්ෂණ වලට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල අපේක්ෂිත ප්‍රතිළුල වලටත් වඩා ඉහල විය. නයිට්‍රජන් පොහොර වෙනුවට රනිලසාර යෙදූ සෝයා වගාව ඉතා සාර්ථක වූ අතර සෝයා අස්වැන්න 10% කින් පමනද වැඩිවී තිබුනි. අද වන විට අක්කර 10000 ට අධික සෝයා වගාවක්  මෙම ජෛව පොහොර යොදමින් රසායනික නයිට්‍රජන් පොහොර රහිතව සාර්ථකව වගා කරනු ලැබේ. 

                                                         

Rizobium_Inoculant_BioFertilizer
                                                  තිස්ස  ප්‍රදේශයේ රනිලසාර යෙදූ  මුං වගාව


Rizobium_Inoculant_BioFertilizer
                                              පොල්පිතිගම ප්‍රදේශයේ  රනිලසාර යෙදූ  කවුපි වගාව


පිටරටින් ආනයනය කරනලද රතු සහ සුදු උදුපියළිය ශ්‍රී ලාංකාවේ කිරි ගොවිපල වල හරකුන්ට පෝෂදායි ආහාරයක් ලෙස වගාකරනු ලැබේ. මෙම උදුපියළිය වගාව සදහා විශාල වශයෙන් යූරියා පොහොර එකතු කරන අතර එමගින් පශු සම්පත් අංශයේ නිශ්පාදන වියදම වැඩිවන අතර එමගින් ශ්‍රි ලංතාවේ මධ්‍යම කදුකරයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා වල පිරිසිදු පෝෂක ප්‍රදේශද (watersheds ) විනාශ වෙමින් පවතී. ශ්‍රී ලාංකාවේ ප්‍රථම වරට තණ බිම් වල වගා කරන රනිල ශාක වල නයිට්‍රජන් තිරතකිරීම අධ්‍යනය කල මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ලංකාවේ විශාලතම කිරි ගව පට්ටියක් වන අබේවෙළ ගොවිපොළ තුල රයිසෝබියා ආක්‍රාමණ කේෂත්‍ර පරීක්ෂාවන්ට ලක්කරන ලදි. සති 15 සම්පූර්ණවූ තෘණ බිම් වලින් ලබාගත් දත්ත අනුව රනිලසාර භාවිතය මගින් නයිට්‍රජන් පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නතරකිරීමට පමණක් නොව වෙනදාට වැඩි අස්වැන්නක්ද ලබාගැනීමට හැකිවී ඇත. 


Rizobium_Inoculant_BioFertilizer
රයිසෝබියා ආක්‍රාමණ පොහොර යොදා වගක තරන ලද මූල ගැටිතිවිශාල ප්‍රමානයක් සහිත උදුපියළිය

පර්යේෂණ කණ්ඩායමේ මීලග ඉලක්කය වන්නේ දැනට නිපදවා ඇති සෝයා රනිලසාර වල කාර්යක්ෂමතාවය වැඩිකිරීම සහ මුං, කවුපි , රට කජු සහ උදු සදහා නව රනිලසාර නිපදවීමයි. මෙවැනි අතිශය සාර්ථකත්වයට පත් පරිසරයට හිතකාමි දේශිය ජෛව පොහොර ප්‍රචලිත කර, ගොවීන් එම පොහොර භාවිතයට උන්නදු කරවීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ වගකීමකි. එමගින් රසායනික පොහොර නිසා පීඩා විදින පරිසරය මෙන්ම මිනිසුන්ගේද අනාගතය සුරක්ෂිත වන අතර ශ්‍රී ලාංකීය පර්යේෂකයන් මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පර්යේෂණ වල නියැලීම ධෛර්යමත් කිරීමද සිදුවේ.  


මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ බාහිර පර්යේෂණ මහාචාර්ය සහ සහයෝගී සහ උපදේශන අංශයේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්.ඒ.කුලසූරිය මහතා සමග සාකච්ඡාකර සැකසූ ළිපියකි.


ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යනය ආයතනය,
මහනුවර.

මෙම ලිපිය විදුසර විද්‍යා සඟරාවේ සහ මව්බිම ඉරිදා යන පුවත්පත් වලද පලවිය

No comments :

Post a Comment