ලොව ප්‍ර‍ථම ක්වොන්ටම් චන්ද්‍ර‍ිකාවේ වගතුග

No comments
  
ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග


අද වනවිට තාක්ෂණයෙන් ඉතා දියුණු තත්වයක ඇති අප ලෝකය තුළ
, විවිධාකාරයේ තොරතුරු සන්නිවේදන ක්‍රම භාවිතා කරනවා. අතීතයේදී මිනිසුන් භාවිතා කළේ, තැපෑල, ටෙලිග්‍රෑම් වැනි ක්‍රම වුවත්, අදවනවිට රැහැන් රහිතදත්ත සම්ප්‍රේෂණ ක්‍රම තමයි මුල්තැන ගෙන තිබෙන්නේ. එහෙත්, එදත් අදත් මිනිසා  මෙහිදී මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වූයේ, දත්ත වල සුරක්ෂිතභාවය පිලිබඳ ගැටළු ඇතිවීමයි. විශේෂයෙන්, රැහැන් රහිත සුලභ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන විද්‍යුත් චුම්බක තරංගඔස්සේ සිදු කරන තොරතුරු හුවමාරුවේදී ද වෙනත් පිටස්තර පාර්ශවයකට මොනයම් හෝ ක්‍රමයකින්, ඒ දත්ත වලට ප්‍රවේශ වීමේ ඉඩකඩක් තිබෙනවා (Hack කිරීම් වැනි ක්‍රම මඟින්). මෙවැනි තත්ත්වයන්, ලොව බලවත් රටවල් වල සිදුකරන ආරක්ෂක, රාජ්‍ය තාන්ත්‍රික හා විද්‍යාත්මක කටයුතු වලදී විශාල අවදානමක් ඇති කරන බව නොරහසක්. මෙයට පිළියමක්, එනම් Hack Proof දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් නිපදවීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයන් පර්යේෂණ වල නිරත වුණා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස, “ක්වොන්ටම් ටෙලි ප්‍රවාහනය යන සංකල්පය ඔස්සේ ඔවුන්ගේ පර්යේෂණ දිවුණු අතර, මෙම තාක්ෂණය රැගත් චන්ද්‍රිකාවක් නිපදවීමේ තරඟයක් ලොව බලවත් රටවල් අතර ඇතිවුණා. ඇමරිකාව, රුසියාව වැනි අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් පරදවමින්, පසුගිය දිනෙක චීනය ජය ලැබුවා.. අද අප ඔබට පවසන්නට යන්නේ, මෙම මෙහෙයුම සහ තාක්ෂණයේ පසුබිම පිලිබඳ තොරතුරු බිඳක්.

   නූතන ලෝ‍කයේ දැවැන්තයා වීමට යන ගමනේ තවත් එක් යෝධ පියවරක් තබමින් චීනය ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාවපසුගිය අගෝස්තු 16 දින සාර්ථකව ගුවන්ගත කළා. වයඹදිග චීනයේ ගෝබි කාන්තාරයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී මෙම 600kg කට ආසන්න බරකින් යුත් මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණු අතර, මෙය නම් කර ඇත්තේ “Micius” ලෙසයි. මෙලෙස එම නම යොදාගෙන තිබෙන්නේ.


 “විශ්වීය ආදරය(Universal Love)” පිලිබඳ වූ දර්ශනය ලොවට හෙළිකළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු වූ Micius සිහිපත් වීම උදෙසායි,


මෙම ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව, විද්‍යාඥ Pan Jianwei සහ අභ්‍යවකාශ ඉංජිනේරු Wang Jiangu දෙපළ අත්වැල් බැඳ ගත්තේ මීට වසර 8 කට පෙරයි. මෙම චන්ද්‍රිකාව මුලින් හැඳින්වූයේ QUESS (Quantum Experiments at Space Scale) අතර , පසුව QSS ලෙසද හඳුන්වා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ Pan පවසන පරිදි, ඔවුන්ට මේ සඳහා සුදුසු නමක් තැබීම ද කලක් තිස්සේ මොළයට වද දුන් කාරණාවක්.
ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

  බොහෝ මාධ්‍ය විසින් මෙය “Hack Proof” හෙවත් පරිගණක හකර්වරුන්ට ලඟා වීමට නොහැකි දත්ත හුවමාරු තාක්ෂණයක් ලෙස අරුත් ගැන්වුවද, කිසිවක්ම Hack Proof නොවන තත්ත්වයක් තුළ මේ තාක්ෂනය කෙරේ වන නිවැරදිම විග්‍රහය වන්නේ, “ළඟා වීමට අපහසු” දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් යන්න වන බවයි Fortune සඟරාවේ සඳහන් වෙන්නේ. චීන ක්වොන්ටම් චන්ද්‍රිකාව විසින් සිය දෙවසරක මෙහෙයුම් කාලය තුළදී මෙම “ආරක්‍ෂිත දත්ත සන්නිවේදන ක්‍රමය වර්ධනය කෙරෙනු ඇත්තේ, ආලෝකයට වඩා වැඩි වේගයකින් හා වඩා සුරක්ෂිත වූ පණිවිඩ හුවමාරුවක් ලොව පුරා ඇති කරනු පිණිස බව ෂින්-හුවා පුවත් සේවය සඳහන් කොට තිබෙනවා.


  ක්වොන්ටම් කේත ක්‍රමය සම්බන්ධ පළමු පරීක්ෂණය මෙය නොවුණත්, එය අභ්‍යවකාශ මට්ටමට ගෙන ආ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය, යුරෝපය හා චීනය දැනටමත් භූමි මට්ටමේ සිදු කරන ප්‍රකාශ තන්තු (Fiber Optics) ජාලයන්හි මේ ක්වොන්ටම් කේත ක්‍රමය භාවිතා කරන බවයි සඳහන් වෙන්නේ. 


  චීනය මේ QUESS ව්‍යාපෘතියට නායකත්වය දුන්නද, ඔස්ට්‍රියාව ද ඔවුන් හා එක්ව ක්‍රියා කරනවා. මේ තාක්ෂනය පිළිබඳ පළමුවෙන්ම අදහස් පළ කළ විද්‍යාඥයා වන Anton Zeilinger 2001 දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) ඉදිරිපත් කළ අදහස ඉවත දමා ඇති අතර, අද සිය ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වූ චීන විද්‍යා ඇකඩමියේ (Chinese Academy of Sciences) විද්‍යාඥ Pan Jianwei විසින් මෙහයවන එම ව්‍යාපෘතියේ සේවය කිරීමට සිදුවී තිබෙනවා. චීනය මූල්‍යමය අතින් ශක්තිමත් වීම සහ චීන අග්‍රාමාත්‍යවරයා විසින් අභ්‍යවකාශ වැඩසටහන් දිරිමත් කිරීම නිසා, මේ ආශ්‍රිතව පර්යේෂණ සිදු කරන ඇමරිකාව, ජපානය සහ යුරෝපය අභිබවා යාමට චීනයට හැකි වුණා. ඒ අතරතුර ම, එක්සත් රාජධානියේ Strathclyde සරසවිය, සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් ද කුඩා චන්ද්‍රිකාවක් ආශ්‍රිත ක්වොන්ටම් තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පවත්වනවා.

  කෙසේවුවත්, මෙහි භාවිතා වන තාක්ෂණය (ක්වොන්ටම් ටෙලිප්‍රවාහනය) ඉතාමත් ගැඹුරු විෂය පථයක් ඔස්සේ දිවෙන්නක්. “රූපවාහිනී යන්ත්‍රය සොයා ගැනීමට කලින්, තැනකින් තවත් තැනකට රූප යවන එක සැලකුවේ විස්මිත (මැජික්) දෙයක් විදිහට. ක්වොන්ටම් ටෙලිප්‍රවාහනයත් මැජික් එකක්. එත්, එයත් අනාගතයේදී රූපවාහිනිය මෙන් සරල හා සුලභ දෙයක් වේවි”. විද්‍යාඥ Wang පවසන්නේ එහෙමයි.

ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

  මේ තාක්ෂණයේ පදනම වන්නේ, අංශූන් 2 (හෝ වැඩි ගණනක්) “ක්වොන්ටම් පටලැවීමක්” (Quantum entanglement) ලෙස ඒ සියල්ලම එකම අධිස්ථාපන (superposition) අවස්ථාවකට ගැනීම මඟින් ඒ ඒ අංශු සියල්ලේම භෞතික ලක්ෂණ එකිනෙක සහසම්බන්ධිත තත්ත්වයකට ගැනීමයි.

   මෙලෙස එකිනෙක “පටලවා” ඇති අංශු 2 කින් ඔබ එක් අංශුවක් අනෙකෙන් ඈතට ගෙන ගියා යැයි සිතන්න.(මෙහිදී ගෙන යන දුර අදාළ නොවේ). ක්වොන්ටම් භෞතිකයට අනුව කෙතරම් ඈතකට ගෙන ගියත්, ඒ අංශූන් දෙක තවදුරටත් ඒ “පටලැවිල්ලේ”ම යි. ඒ කියන්නේ, මෙවිට ඔබ එක් අංශුවකට කරන යම් වෙනසක් අනෙක් අංශුවට ද (කෙතරම් දුරක තැබුවත්) එලෙසම බලපානවා. අයින්ස්ටයින් ගේ කීමට අනුව මෙය “Spooky action at a distance” නොඑසේ නම් “දුරක සිට හොල්මන් කිරීමක්” වගෙයි. මේ චන්ද්‍රිකාව තුළ විශේෂිතව සැකසූ ස්ඵටිකයක් හරහා විදින ලේසර් කදම්භයක් හරහා “පටලවුණු” ෆෝටෝන යුගල නිපදවන යන්ත්‍රයක් තිබෙන අතර, මේ සෑම පටලවුණු යුගල අංශුවක් ම, කි.මී. 1200 ක් පමණ දුරින් ඈතින් ඇති පෘථිවියේ මධ්‍යස්ථාන වෙත එල්ල කෙරෙනවා

ලොව ප්‍ර‍ථම කොවොන්ටම් චන්ද්‍ර‍කාවේ වගතුග

ඉන්පසු, මධ්‍යස්ථාන වල සිටින පර්යේෂකයන් හට, ඔවුන්ට ලැබුණු අංශු පද්ධතියට ප්‍රවේශ වීමෙන්, මේ එක් එක් ෆොටෝනයකට කෙරෙනු ලබන ඕනෑම මිනුමක්, එසැණින්ම එහි එම ෆොටෝනයේ විරුද්ධ අංශුව ලැබුණු අනෙක් මධ්‍යස්ථානයේ ඇති එම අංශුව කෙරෙන දිස් වීමට සැලැස්විය හැකියි.

   කෙසේවෙතත්, මෙම තාක්ෂණය හරහා අපගේ සාමාන්‍ය පණිවිඩ ඍජුවම හුවමාරු කිරීමට හැකියාවක් නැහැ. මෙයින් කළ හැක්කේ පරමාණු අංශූන්හි විවිධ අවස්ථා පිළිබඳ මූලික තොරතුරු, විශාල දුරවල් ආවරණය වන පරිදි හුවමාරු කරගැනීම පමණක් වුවත්, මේ හරහා ශක්තිමත් කේත පද්ධතියක් (encryption tool) සකසාගත හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. එහෙත්, ක්වොන්ටම් විද්‍යාව භාවිතයෙන් ගොඩනගනු ලබන කෙතයන්ට,”ස්වයං විනාශකාරීගුණයක් ලබා දියහැකි අතර, යම් හෙයකින් මෙම දත්ත හුවමාරුවේ දී තෙවන පාර්ශවයක් මැදිහත් වුවහොත් එම කේතයන් තමන් විසින්ම විනාශ වනවා. “මෙය සබන් පෙණ බුබුළක් මත ලියූ පණිවිඩයක් වගේ, ඔබ එය අල්ලන්න. එය පුපුරා යාවි.” Wall Street ජර්නලයට අදහස් දක්වා ඇති තාක්ෂණයේ ප්‍රවීණයෙක් පවසා ඇත්තේ එලෙසයි.

 කෙසේවුවත්, ක්වොන්ටම් සන්නිවේදනය තවමත් පවතින්නේ ළදරු අවදියේ. ඒ වගේම, මේ පිළිබඳ කරන පර්යේෂණ වලටත්, ඉහළ ප්‍රාග්ධනයක් වැය වෙනවා. ඇමරිකාව ට පවා මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට මඟ ඇහිරී ඇත්තේ ඒ නිසා. චීනය, ඒ ඉහළ ප්‍රාග්ධනය වැය කරමින් සිදුකරන මේ පර්යේෂණ හේතුවෙන්, අනාගතයේ ලෝකයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මහා පෙරළියක් ඇති වනු නිසැකය.

විදුසර 2016/09/21 දින (29 කාණ්ඩයේ 47 වන) කලාපයේ සහ //www.therussophile.org රුසියානු පුවත් සේවයේ ලිපි ඇසුරෙන්//. {අන්තර්ජාලයෙන්}

සංජු දර්ශන

No comments :

Post a Comment