අභ්‍යවකාශ ජනාවාසකරණය සහ මානව පැවැත්ම

No comments
මිහිතලය මත වෙසෙන සාර්ථකම ජීවීන් කොට්ඨාසය වන මානව සංහතියේ ආරම්භය මීට වසර මිලියන ගණනාවකට පෙර ප්‍රයිමේටාවන්ගේ පටන් සිදුවූ අතර එතැන් පටන් මේ දක්වා එනම් එහි දියුණුතම අවස්ථාව වන Homo sapiens sapiens දක්වා පරිණාමය වීම නොයෙකුත් වූ වාසිදායක සහ සුවිශේෂීකරණය වූ ලක්ෂණ හඳුන්වාදෙමින් සිදුවිය. මීට උදාහරණ කිහිපයක් ලෙස මොළයේ වර්ධනය සහ පුළුල් නළලක් ඇතිවීම, ප්‍රාථමික වක්‍ර 2ක් සහ ද්විතීක වක්‍ර 2ක් සහිතව කොඳුඇට පෙල සමගින් සෘජුකාය විලාසය ඇතිවීම, මහපට ඇඟිල්ලේ පිලිමල් ස්වභාවය හා මුහුණ පැතලි වීම ගත හැකිය. මෙම සුවිශේෂී වූ ලක්ෂණ වල හඳුන්වාදීම සහ ඒවායේ වර්ධනය මානව ජීවියාට මිහිතලය මත ජනිත වී ඇති අනෙකුත් ජීවීන් අභිබවා ජීවිත සටන ජයගනිමින් මිහිමත තම පැවැත්ම තහවුරු කරගැනීමට මනාම වූ පිටිවහලක් වන්නට ඇති බව ඉතා පැහැදිලිවම සිතිය හැකි කරුණකි.

image source:http://www.bbc.co.uk/programmes/p0022nyy
ප්‍රථමාවධියේදී මානවයාගේ මූලික අවශ්‍යතාවයන් ආහාර ලබාගැනීම සහ ආරක්ෂාව පමණක් වුවත් කල්ගතවත්ම එය මීට අමතරව ඇඳුම් පැලඳුම් වාසස්ථාන අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු විශාල මූලික අවශ්‍යතාවයන් රැසක් බවට පත්විය. මෙහිදී මෙයට වැඩි වශයෙන්ම හේතුවූවා යැයි සැලකිය හැකි කරුණ වන්නේ මිනිසාට ඉගෙනගැනීමට ඇති සුවිශේෂී වූ හැකියාවයි. මිහිමත වෙසෙන බොහොමයක් ජීවීන්ට ඉගෙනගැනීමට හැකියාව තිබුනත් එය අත්දැකීම් වලට පමණක් සීමාවන අතර මිනිසා සුවිශේෂී වන්නේ ඔවුන්ට බුද්ධිමත්ව කරුණු විමසා බලමින් තාර්කිකව ඉගෙනුම ලැබීමට ඇති හැකියාවෙනි. මෙය අනෙක් ජීවීන්ට සාපේක්ෂව මානවයා ප්‍රමුඛ වීමට ලක් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකිල්ලට භාජනය කලහැකි අතර ගින්දර සොයාගැනීම, රෝදය සොයාගැනීම සහ ට්‍රාන්සිස්ටරය සොයාගැනීම වැනි සන්ධිස්ථානයන් තුලින් එය සාර්ථකව පසක් කර තිබේ. මේ අනුව බලන කළ මේ වනවිට මිනිසාට ජීවිත සටන සඳහා අනෙකුත් ජීවීන් සමඟ පවතින්නේ නිතරඟයක් බව පැහැදිලි වේ.

මෙලෙසින් කාලයත් සමග මිනිස් ගහණය වර්ධනය වූ අතර සංක්‍රමණ, ආක්‍රමණ ආදී ක්‍රම සහ භූ විද්‍යාත්මක හේතූන් පදනම් කර ගනිමින් පෘතුවිය පුරා මානව ගහණය වර්ධනය වීමට ලක්විය. වර්තමානය වනවිට මෙම මානව ගහණය බිලියන 7.5කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී පවතින අතර වර්ධන වේගය 1.1% පමණ අගයක් ගනී. මෙම සංඛ්‍යාත්මක අගය මිහිමත වෙසෙන අනෙකුත් ඇතැම් ජීවීන් සමඟ සසඳා බලන කළ කුඩා අගයක් වුවත්, සියලූම ජීවීන්ට අයිතිව පවතින භූමි ප්‍රමාණය සහ සීමිත සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගත් කල මෙම අගය සීමා ඉක්මවා යාමක් බව පැවසීම සාවධ්‍ය නොවේ.

මෙම සාර්ථක මානව පරිණාමයත් වර්ධනයත් සමඟ මිනිසා භාවිතා කරන තාක්ෂණයද ඊට සමගාමීව ඉතා ඉහළ වේගයක් සහිතව වර්ධනය වීමට ලක් වූ අතර මෙලෙසින් වර්ධනය වී වර්තමානය වන විට එය සාපේක්ෂව ඉතා ඉහළ ස්ථානයකට සපැමිණ තිබේ. තොරතුරු තාක්ෂණික, වෛද්‍ය හා ජෛව විද්‍යාත්මක, රසායනික විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක ක්ෂේත්‍ර මීට ඇතුළත් කළ හැකි වැදගත් ක්ෂේත්‍රයන් වේ.
මේ අතරින් අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන්ද ප්‍රධාන පෙලේ ස්ථානයක් හිමිකර ගන්නා අතර වර්තමාන තාක්ෂණික මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් බොහොමයක්ම පාහේ සපුරාලීමට මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන් භාරගෙන තිබීම නිරීක්ෂණය කලහැකි කරුණකි.

මෙහි සුවිශේෂ කෘත්‍යයක් ලෙස විශ්වය පිලිබඳ සිදු කෙරෙන අධ්‍යයනයන් සැලකිය හැකි වේ. ඉතිහාසයේ පටන් මේ දක්වා විශ්වය පිලිබඳ පැවති දුර්මතාන්ත දුරු කරමින් ආගමනයෙන් පසු වර්තමානය වන විට සාපේක්ෂව ප්‍රශස්ථ මට්ටමක අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර නාසා ආයතනය (NASA-The National Aeronautics and Space Administration) සමගින් හබ්ල් දුරේක්ෂය(Hubble Space Telescope)- සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයද (International Space Station) මෙහිලා ඉහළ දායකත්වයක් දක්වනු ලබයි. මේ සමඟ චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්ද පෘතුවිය එපිටින් පවතින තාරකා ග්‍රහලෝක මෙන්ම ජීවයන් පිලිබඳ ගවේෂණයන්හි නියැලෙමින් පවතී.

image source:
https://www.space.com/20657-stephen-hawking-humanity-survival-space.html

මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවේ නවමු වූ මානයක් ලෙස අභ්‍යවකාශ ජනාවාසකරණ (Space Colonization) සංකල්පය හැඳින්විය හැකි වේ. සරලව ගත් කළ අභ්‍යවකාශ ජනාවාසකරණය යන්නෙහි මූලික සංකල්පය වන්නේ පෘතුවියෙන් බැහැරව, ස්ථීර සහ ස්වතන්ත්‍ර ලෙස වාසය කළ හැකි පරිදි වාසස්ථාන පිහිටුවා ගැනීමයි. ලොව සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකු සහ අජටාකාශ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙපන් හෝකින් මහතා (Theoretical Physicist and Cosmologist Professor Stephan Hawking) මත පලකරන්නේ මිනිසාට පෘතුවියෙන් එපිටට තම ජීවය ව්‍යාප්ත කළ නොහැකි නම් තවත් වසර දහසක් තුල පෘතුවිය මිනිසාට ජීවත්විය නොහැකි ස්ථානයක් බවට පත්වන අතර ඔහු පවසන්නේ තනි ග්‍රහලොවක ජීවය පැවතීම අවධානම් කටයුත්තක් බවයි. මෙම ප්‍රකාශනයට උදාහරණයක් ලෙස ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වීම ගත හැක. ඔහු පවසන්නේ පෘතුවිය භංගුර වස්තුවක් වන අතර ඇස්ටරොයිඩ හෝ එවැනි වෙනත් අභ්‍යවකාශ වස්තුවක ඝට්ටනයකින් පහසුවෙන්ම පෘතුවිය විනාශ වී යාහැකි බවයි.


මීට අමතරව මිනිස් ගහණය පාලනය කිරීමට නොහැකි තරමටම වර්ධනය වූ පසු අභ්‍යන්තර ගැටුම්, එනම් යුධ කටයුතු සහ හදිසි අනතුරු මගින් මිනිසුන් විනාශ වී යාහැකි බවත් මෙම ගැටලූ වලට හොදම විසඳුමක් ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ පෘතුවියට පමණක් සීමාවී ඇති ජීවය අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කලයුතු බවයි.

නාසා ආයතනයේ විද්වත් නිලධාරියෙකු ලෙස කටයුතු කරන මයිකල් ග්‍රිෆින් මහතා (NASA Administrator - Michael Griffin) පවසන්නේ වර්තමානයේ සිදුකරනු ලබන මෙම පර්යේෂණයනගේ සහ ව්‍යාපෘතීන්ගේ අග්‍ර අරමුණ අභ්‍යවකාශ ජනාවාසකරණය බවයි. යම් දිනෙක මිනිසුන් සඳ ඇතුලත්ව බ්‍රහස්පතී, අගහරු ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දක්වා ජීවය වර්ධනය කරනු ඇතැයි ඔහු මත පලකරයි. මෙය හුදු මනස්ගාතයක් නොවන බවත් වර්තමාන තාක්ෂණික දැනුම ඔස්සේ එවැනි ඉලක්කයන් කරා මිනිසාට ගමන් කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
නාසා ආයතනය ප්‍රමුඛ මෙම පර්යේෂණයන්හි නියැලෙන විද්වතුන් ඉදිරිපත් කරන මෙහි අරමුණු කිහිපයක් ලෙස,
1. ජීවය විශ්වය පුරා ව්‍යාප්ත කිරීම.
2. මානව ජීවී විශේෂයේ පැවැත්ම තහවුරු කිරීම.
3. සූර්ය බලශක්තිය සහිත චන්ද්‍රිකා ඇස්ටරොයිඩ වැනි ආකාශ වස්තූන්හි සිදුකරන කැණීම් අභ්‍යවකාශ වස්තූන්ගෙන් සිදුකරන නිෂ්පාදන ආදීන් වාණිජකරනයට ලක් කරමින් වාසි ලබාගැනීම.
4. මිනිසුන් සහ කර්මාන්තශාලා අභ්‍යවකාශයට ඇතුලත් කිරීම මගින් පෘතුවිය ආරක්ෂා කරගැනීම.
හඳුනාගත හැකි වේ.

ඒ සමඟම මෙහිදී පැන නැගිය හැකි ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ප්‍රශස්ථ මට්ටමකින් ලබා ගැනීම, බල ශක්තිය ලබා ගැනීම, ගුරුත්ව බල රහිත බැවින් ඊට විසඳුම් සෙවීම හා අභ්‍යවකාශයේ පවතින අධිකතර විකිරණශීලීතාවයෙන් ආරක්ෂා වීම ආදීන් ගත හැකිය.

ජීවීන්ට තම ජීවය පවත්වාගැනීමට අවශ්‍ය මූලද්‍රව්‍ය C, H, O, N, P, Mg, K, S වැනි අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සහ Cl, Fe, B, Mn, Zn, Cu, Mo, Ni ආදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස පවතින අතර මිහිතලය මතදී නම් ආහාරදාමයක මුලින්ම සිටින ශාක විසින් බොහෝවිට මෙම අවශ්‍යතාවය සපුරා දෙනු ලබයි. ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක C කාබන් තිර කරනු ලබන අතර බැක්ටීරියාවන්ගේ උපකාරයෙන් හෝ සංයෝගමය වශයෙන් පවතින හෝ එවැනි වෙනත් ආකාරයකින් හෝ අධි මාත්‍ර හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාක තුලට ඇතුළත් කර ගනී. ඉන්පසු සතුන් මගින් එය අධිග්‍රහනය කර ආහාරදාමයන් ඔස්සේ ගමන් කරනු ලබයි. එනම් මිනිසාද එම ජෛව පද්ධතියේ පුරුකක් බවට පත් වෙමින් තම අවශ්‍යතාවය සපුරාලනු ලබන අතර අභ්‍යවකාශය තුලදී ද මෙය යථාර්තයක් බවට පත් කිරීම මිනිසාගේ වෑයම බවට පත්වී තිබේ. මේ සඳහා ඇරිසෝනා ප්‍රාන්තයේ (Arizona) පිහිටි ඇරිසෝනා විශ්වවිද්‍යාලය (Arizona University) මගින් පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර මෙහි එක් ව්‍යාපෘතියක් ලෙස ‘Biosphere 2’ ව්‍යාපෘතිය හැඳින්විය හැක. මේ වන විට වසර 2ක් සඳහා මිනිසුන් 8 දෙනෙකුට ප්‍රමාණවත් වන තරම් කෘත්‍රිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.

මෙහිදී විශාල සතුන් ආදිය මෙයට ඇතුලත් කරන්නේ නම් මේ සියල්ලටම අවශ්‍ය තරම් වාතාශ්‍රය නිපදවීම තවමත් ගැටලුවක්ව පවතින අතර ඒ සඳහා ද පර්යේෂණ බොහොමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. අභ්‍යවකාශය තුල පෘතුවියේ මෙන් වායුගෝලයක් නොමැති වීම ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය පවත්වාගැනීමට නොහැකි වීමටද හේතු වේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ පාරිසරික උෂ්ණත්වය ඉතා දැඩි විචලනයන්ට ලක් වන අතර මෙය ජීවීන්ගේ පැවත්මට සුදුසු නොවේ. මෙයද මිනිසාට මෙම අභ්‍යවකාශ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට බාධාවක්ව තිබේ.

එමෙන්ම අභ්‍යවකාශය යනු විකිරණ බහුල කලාපයකි. කොස්මික් කිරණ සහ සූර්යයාගෙන් පැමිණෙන බොහෝ කිරණ ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කළහැකි ඒවා වේ. මීට විසදුමක් ලෙස විද්‍යාඥයන් විසින් විකිරණාවශෝෂක මතුපිටක් සහිත ආවරණ නිර්මාණය කෙරෙහි තම පර්යේෂණ මානයන් යොමුකරමින් පවතී.

මීට පෙර මෙම අභ්‍යවකාශ වටපිටාව තුල භාවිතා කරන ශක්ති ප්‍රභවය කුමක්ද යන්න නොයෙකුත් මතවාද පැවතුනත් සූර්යශක්තිය සහ තවත් ආකාශ වස්තූන් භාවිතාකර ශක්තිය නිපදවිය හැකි නොයෙකුත් ක්‍රමවේදයන් මේ වන විට සොයාගනිමින් පවතී. විද්වතුන්ගේ තොරතුරු අනුව ඔවුන් පවසන්නේ පෘතුවියේ මෙන් ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි සම්පත් ප්‍රමාණයක් අභ්‍යවකාශය තුල ගැබ්වී පවතින බවයි.

ඒ සමඟ වසර 71ක පමණ කෙටි ආයු අපේක්ෂාවක් සහිත මිනිසාට පවතින තවත් ගැටලූවක් නම් මෙම ග්‍රහලෝක අතර සිදුකරන ගමනාගමන ක්‍රියාවලියයි. මේ සදහා ආලෝකයේ වේගය හෝ එය අභිබවා යාහැකි යානා (Space Ships – FTL: Faster than Light Engines) නිර්මාණය කළ යුතුව තිබේ. මේ ආශ්‍රිත පර්යේෂණ කටයුතුද ක්‍රියාත්මක තත්වයේ පවතින අතර තවමත් ඒවා මූලික අවධි පසුකරමින් සිටී.

image source:https://en.wikipedia.org/wiki/Space_colonization
මෙවැනි භෞතික ගැටලූ වලට මිනිසා විසඳුම් සෙවූවද උසස් හා අතිශය සංකීර්ණ මනසකින් හෙබි මිනිසාට ඇතිවිය හැකි මානසික ගැටලු වලට විසඳුම් තවමත් සොයාගෙන නොමැත. මෙවන් ඒකාකාරී සහ පීඩාකාරී බවකින් යුත් පරිසරයක් තුල මානව ජීවියාට සාර්ථක විය හැකිවේද යන්න තවමත් ගැටලුකාරී තත්වයක් මතු කරමින් තිබේ.

මෙකී ගැටලුන් ඇතුලත්ව තවත් දහසකුත් එකක් ගැටලු තවමත් මිනිසා ඉදිරියේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පවතින නමුදු මිනිසා විසින් මෙම සියලූම ගැටලු වලට පිලිතුරු සපයමින් මෙම සන්ධිස්ථානය කරා ගමන් කරන බව විද්වතුන්ගේ ප්‍රබල මතය වේ. මීට හොඳම උදාහරණයක් ලෙස ලෝ ප්‍රකට විද්‍යාඥ ආතර් සී ක්ලාක්(Arthur C. Clarke) මහතා හදුනාගත හැකි අතර මෙම අධ්‍යයනයන් සඳහා ආලෝකයක් වූ මෑත කාලීන සොයාගැනීම ලෙස මිනිස් වාසයට සුදුසුයැයි සැක පලකෙරෙන ආලෝක වර්ෂ 39ක් එපිටින් පිහිටි TRAPPIST-1 සෞරග්‍රහ මණ්ඩලය හැදින්විය හැකි වේ.

ඒ අනුව මෙලෙසින් වසර මිලියන ගණනක් පෙරුම් පුරමින් සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මිහිමත ජනිත වූ මෙම මිනිස් ජීවී විශේෂය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණ කොටගත් මෙම දැවැන්ත පර්යේෂණයන් හා ව්‍යාපෘතීන්ගේ සාර්ථක අවසානය, නව මානව ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

ඉන්ද්‍රජිත් අත්තනායක.
විද්‍යා පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. 

(ප්‍රධාන වශයෙන් Stephan Hawking මහතාගේ අදහස් ඇසුරු කරගෙන සැකසූ ලිපියකි)

No comments :

Post a Comment